DEVDAS සම්මානනීය සිනමා කාව්‍ය
අවසානයකින් ඇරඹුමක් ගන්නයි මේ සුදානම...හිතට දැනුණා ද,ඔබටත් මේ අවසානය?
"මං පොරොන්දු වෙනවා,මැරෙන්න මොහාතකට කළින් එක සැරයක්,ඔයාගේ දොරකොඩට එනවා කියලා"
ඔහු ඇයට දුන් පොරොන්දුව නිසාම ජීවිතයත් මරණයත් අතර අවසාන සටන ඇයගේ දොරකඩ ළඟට රැගෙන ඔහු පැමිණෙන්නේය....
සිරුර තමන් ළඟ තබාගෙන මුළු ආත්මයම ඔහුට පූජා කල ඇයට ඔහුගේ ආමන්ත්‍රණය කල් තියා ඇසුනද ඔවුන්ගේ දෛවය අවසාන මොහොතෙත් ඔවුන්ට සරදම් කරන්නට විය...
ඒ ඇයගේ අතින් පහනට තෙල් වැටෙන අවසන් මොහොතයි...රතු පැහැති විශාල තිර රෙදි සුළඟට ළෙල දෙන්නේ විනාශයක,අවසානයක පෙරනිමිති කියා පාමින්ය...
අවසානයේ ඇයට එය දැන ගැනීමට ලැබේ......
විවාහයට පෙර රුධිරයෙන් සින්ධූර තවරා තම ආත්මය දෙපා මුල පූජා කල ඇයගේ සැබෑම හිමිකරු වු ඔහු පැමිණ ඇති බව ඇය දැනගනී...ඒ සමඟම කෝපයෙනුත් ශෝකයෙනුත් රතු පැහැ වන ඇයගේ දෙනෙත් මෙතෙක් සඟවා සිටි කදුළු බිදු එකින් එක අත් හරින්නට විය...ඇය දිව යන්නාය...තමන්ගේ මුළු ගතෙහිම ශක්තිය පාද වලට යොදා තමන්ගේ ආත්මය සමඟ මුසුවීමට දිව යන එයයි උච්චතම අවස්ථාව...
ඇය සැරසී සිටින රතු වර්ණයෙන් මායිම් වු සුදු සාරිය සංකේතවත් කරන්නේ ඔවුන්ගේ වන්දනීය ප්‍රේමයම වෙයි....දැන් එ් ප්‍රේමය සුළඟත් සමඟ පොරබදින්නේ විනාශයක පැල්ලම්ද අතරමගදී ඉහිරවගෙනය....දිව යන ඇයව නිවසේ සියළු දෙනා නැවැත්වීමට වෙර දැරුවද ඇය සියළු බාධක හැර දිව යන්නාය...ඇය දිව යන පොළොවේ ඇද ඇති රතු පැහැ කෝලම් රටාද පාගා ඔහු වෙත දිව යන අතර දෙපස වතුර මල් කදුළු බිඳු මෙන් කඩා වැටේ...
බොඳ වු ඇයගේ රුව ඇදෙන අයුරු,රතු මල් ගස යට වැතිර සිටින ඔහු දකින අතර එක්වරම ඔවුන් දෙදෙනා අතරට මන්දිරයේ විශාල ගේට්ටු යුගල හරස් වෙයි...දෙදෙනාට දෙදෙනා පෙනී පෙනී මන්දිරයේ ගේට්ටු වැසෙනවාත් සමඟම ඇය දැල්වූ පහනද නිවී යයි....
දේවා....!!
පාරෝ....!!
කිසිවක් කරකියා ගත නොහැකිව ඇය,කොපුල් පුරා ඇදවැටෙන කදුළු බිදු මෙන් ගේට්ටු යුගල දිගේ ඇදවැටෙන්නාය...
FILM
මේ තමයි බොලිවුඩයේ බන්සාලි සිනමා ලකුණ සනිටුවහන් කල සංජය ලීලා බන්සාලිගේ "DEVDAS" සිනමාපටයේ අවසානය....
1900 දි sarat chandra chatterji අතින් ලියවී 1917 දි ප්‍රකාශයට පත්වෙන devdas නව කතාව ප්‍රේමයේ අත් පොතක් බඳුය...දේව්දාස්-පාර්වතී-චන්ද්‍රමුඛී නම් ප්‍රධාන චරිත 03 වටා දිවෙන devdas නවකතාව හින්දි මෙන්ම තෙළිඟු,ද්‍රවිඩ,බෙංගාලි භාෂා වලින් මෙන්ම බංගලාදේශය හා පකිස්තානය යන රටවලද සිනමාවට නැඟෙන අපූරු කතා පුවතකි.
කෙනෙක්ට මේ කතා පුවත බොළඳ විය හැක.තවත් කෙනෙක්ට උමතුවක් විය හැක...නමුත් සැබෑවටම ආදරය කල හදවත්,ආදරය සීමා රහිත කල හදවත් මෙය ඔවුන්ගේ හදවතට සමීප තවත් කතාවක් ලෙස වැළදගනු නොඅනුමානය......
බන්සාලිට පෙර 1936 හා 1955දි devdas හින්දි භාෂාවෙන් සිනමාවට නැඟී ඇත.1936දි saigal පණ පෙව් devdas චරිතයට 1955දි dileep kumar ද පණ පොවා ඇත.
මේ චිත්‍රපට ගණනාව අතුරින් බන්සාලිගේ devdas චිත්‍රපටය විශිෂ්ඨ වන්නේ චිත්‍රපටයේ වර්ණ හා සංඥා,සංකේත වලින් බන්සාලිගේම ලකුණු සලකුණු කර ඇති නිසාය.....ඒ මොනවදැයි විමසා බලමු....
🔘දේවත්වය ආරෝපණය කිරීම
නවකතාවේ රචක සරත්චන්ද්‍ර චැටර්ජි විසින් රාධා-ක්‍රිෂ්ණා පුවත අනුසාරයෙන් කතාව ගොතා ඇති බව පෙනේ.කිසිදා එක් නොවු එහෙත් අදටත් පින්තූරයක පවා එකට නිරූපණය කරන අමරණීය පෙම් යුවලක් වන රාධා-ක්‍රිෂ්ණා ඉරණම දේව්-පාරෝ පුවතට මනාව උකහාගෙන ඇත. චිත්‍රපටියේ "morey piya" ගීතය තුළ රාත්‍රියේ විල අසල දේව්-පාරෝ රඟන රංගනය, යමුනා නදිය අසල පෙම් කෙළින රාධා-ක්‍රිෂ්ණා යුවල මනාව ජීවනය කර පෙන්වයි.
පාරෝගේ දුර්ගා මැණියගේ වර්ණයත්,දේව්ගේ ඇදුම් වල වන පාරිශුද්ඨත්වයේ සුදු පැහැයත් දැක්වීම සරත්චන්ද්‍රයන්ගේ වෑයම තවත් වැඩිකර පෙන්වීමට බන්සාලි ගත් උත්සහයක් බව පෙනේ.
අවසානයේ දේව් වැතිර සිටින රතු මල් සයනය,කාව්‍ය පද්‍ය පන්ති වල දෙවිවරු නිදන යහන් ලෙස සකසා තිබීමෙන්ද එය පැහැදිලි වේ..
🔘පාරෝගේ පහන
silsila ye chahat ka ගීතය අරුත් ගන්වන අයුරින්ම පාරෝ දල්වන පහන් සිළුව අර්ථ ගන්වන්නේ දේව්ගේ ආදරය වෙයි...
"මොනතරම් රළු වුවත් මේ වර්ෂාව,මේ චණ්ඩ මාරුත,මේ අකුණු....නුඹ නිවා දමනු නොහැකිය..."
පාරෝගේ පහන් සිළුව ඇයගේ කුල ගෙයද ආලෝකමත් කලේ අන් ආලෝකයකට ඉඩ නැති බව අගමින්ය...
අවසන් හුස්මත් සමඟ පොර බඳින දේව් ඇය දිව එන අයුරු යන්තමින් දුටුවද ගේට්ටුව වැසී යයි...
දේවා...!
පාරෝ...!
දුර ගෙවා ඇයගේ දොරකඩට ඔහු පැමිණියත් ඔහුත් ඇයත් අතර ඇති ගේට්ටුව එදා දේව්ගේ දෙමාපියන් ලෙසද තිබුණ අතර මෙදා භුවාන් චෞද්‍රි හා ඔහුගේ පවුල ලෙස හරස් වී ඇත.හිමි වීමක් නැති ආදරයේ අවසානය එසේ වෙද්දි ලෝකයා සමඟ කල සටනින් පැරදි දේව් අවසන් හුස්ම හෙලුවේය...
🔥🔥පහන් සිළුවද එවිට නිවී යයි.....
🔘සඳ නැගෙන මොහාතේ දේව් පාරෝ දැකීමට පැමිණීම
ඕ දේවා.....!
ඕ දේවා.....!
වසර 10කට පෙර දේව් ලන්ඩන් යෑමට කරත්තයේ නැගී පිටව යන අවස්ථාවේ පාරෝ බොරළු ගොඩේ කකුල් තුවාල වන තුරු දිවයන්නේ එලෙස කෑ ගසමින්ය...වසර 10කට පසු නැවත පැමිණෙන දේව් පාරෝ හමුවීමට පැමිණියත් ඇය ඔහුට මුහුණ නොපෙන්වයි...ඇයගේ මුහුණ බැලීමට සඳ නැගෙන රාත්‍රියේ පැමිණෙන ලෙස ඇය පවසයි.
"හඳටවත් නැති මෙච්චර ආඩම්බරකමක්?"
"හඳ කොහොම ආඩම්බර වෙන්නද,හඳේ ලප
තියෙනකොට"
එසේ පවසා පිටව යන දේව් රාත්‍රියේ පැමිණෙන මෙහොත,චිත්‍රපටයේ වඩාත් ප්‍රේමණීයම මහා කාව්‍යකට වෙනමම පෙරළිය හැකි විනාඩි කිහිපය එයයි...
රාගයේ වර්ණය හෙවත් දම් පැහැ වර්ණ දරා සිටින වීදුරු වලින් වට වු මණ්ඩපය මැද ඇයද දම්පාට සාරියකින් සැරසී දෑස් පියාගෙන ඔහු එනතුරු බලා සිටින්නාය...තවමත් සඳ නැඟ නැති මණ්ඩපය ආලෝකමවත් වී ඇත්තේ පාරෝගේ පහන් සිළුවේ ආලෝකයෙනි...
ඉන්පසු මණ්ඩපයට එක් පසකින් සඳ ද අනෙක් පසින් දේව් ද සෙමෙන් සෙමෙන් මණ්ඩපයට පියවර තබයි....
පාරෝ අසලට පැමිණ ඇයගේ මුහුණ දෙසට පාත්වන ඔහු ඇයගේ මුහුණට වැටී ඇති කෙස් රොද මුවින් පිඹ ඉවත් කරයි...
එළඹෙන්නේ සඳට සඳක් මුණගැහෙන වේලාවයි.සඳ එළියෙන් බබලන ඇයගේ මුහුණ දෙස බලාසිටින ඔහු පහන් සිළුව නිවා දැමීමට සැරසෙයි.පහන් සිළුව මත අත් අල්ල තැබූ වහාම ඇය ක්ෂණයෙන් ඇයගේ අත ඔහු අත මත තබා ඔහුව වලක්වාලයි....චිත්‍රපටයේ ඉතා ගැඹුරුම අර්ථයක් සහිත මෙහොත එයයි...
කොතෙක් එළිය දෙන පුන්සඳක් පායා ආවද ඇයට අවැසි එකම ආලෝකය ඒ පහන් සිළුවේ ආලෝකය පමණි....එනම් දේව්ගේ ප්‍රේමය පමණක්ම ඈ පතන්නාය.
එසේම එතන තවත් සිදුවීමක් ව්‍යාංගාර්ථවත් කරවයි.එනම් පහන් සිළුව නිසා දේව්ගේ අත් අල්ල පිලිස්සීයාමයි.එනම් ඔහුගේ ආදරයෙන් ඔහුම දැවී යාම බන්සාලි මනාව ව්‍යාංගාර්ථවත් කර ඇත.සැබෑවටම අවසානයේ සිදු වන්නේ එයම නොවෙද.....
පසුව පහනින්, දැවී ගිය තෙල් බිදුවක් ඇඟිල්ලකට ගන්නා ඔහු එයින් ඇයගේ දෙතොලෙහි කළු තිලකයක් තබා පිටව යයි....සඳද එබිකම් කර බැලූ පාරෝගේ සුන්දරත්වයට ඇස්වහ වැදීම වැළැක්වීම දැක්වන ඒ සිදුවීමෙන් දේව්ගේ පරම පිවිතුරු ප්‍රේමය මනාව පිළිඹිබු කරවයි...එම දම් පැහැ ජවනිකාව පසු පසින් ඇසෙන මියුරු සංගීතයද මුසු කළ කල ආදරය නොවිඳපු හදවත් වලටද පෙම් හැගුම් දනවන්න බන්සාලි සමත් වී ඇත.....
🔘පාරෝ-දේව් විවාහය
පාරෝ,භුවාන් චෞද්‍රි විවාහ කර ගැනීමට පෙර රාත්‍රියේ දේව් පාරෝ වෙත පැමිණෙයි...තමන්ව හැර ගිය කෝපයෙන් සිටින ඇය මවගෙත් ඇයගෙත් ගෞරවය වෙනුවෙන් ගත් තීරණය වෙනස් නොකරන මතයෙම තරයේ සිටින්නාය...
දේව් අසරණ වන ඒ මෙහොතේ ඒ දෑස් වල ඇත්තේ කැඩී බිඳී යන ප්‍රේමයක වේදනාව පමණි....
එක්වරම පාරෝ අත ඇති මුතු මාලය අතට ගන්නා දේව් ඉන් ඇයගේ මුහුණේ කැළලක් ඇති කරවයි.ඒ ඔවුන්ගේ ආදරයේ සලකුණයි.ඉන් ගලන රුධිරයෙන් සින්ධූර් ගල්වන දේව් ඉන් අගවන්නේ ඇය අන් අයෙකු සමඟ විවාහා වුවද ඇයගේ ආත්මයේ සැබෑ හිමිකරු ඔහුම පමණක් වන බවය....
🔘පාරෝ-දේව් අවසන් හමුවීම(කහ පැහැති ජවනිකාව)
පියාගේ මරණය ආරංචි වී නිවසට පැමිණෙන දේව් නැවත පිටව යාම වැළැක්වීමට පාරෝ දේව් හමුවීමට පැමිණෙයි...ඒ ඔහුට ආදරය කල පාරෝ ලෙස නොව,කුඩා කල සිටි මිතුරිය ලෙසය...
ඒ බව හැගවීමට බන්සාලි විසින් විශාල කහ පැහැති තිර රෙදි යොදාගෙන තිබීම කැපී පෙනෙයි....
වටපිටාවේ සියළු භාණ්ඩ සුදු රෙදි වලින් වසා ව්‍යාංගාර්ථවත් කරනුයේ දේව්ගේ හිස්වු අපිළිවෙල ජීවිතය වෙයි.....
ඒ අතරින් වු කුඩා මංජුසාවක,පාරෝ-දේව් ළමා කාලයේ මතකයනුත් ඔවුන්ගේ වෙන්වයාමේ මතකයනුත් ඉතිරිව ඇති බව දේව්,පාරෝ හට පෙන්වයි..
"මං පොරොන්දු වෙනවා,මැරෙන්න මොහොතකට කළින් එක සැරයක්,ඔයාගේ දොරකොඩට එනවා කියලා"
අන්තිම හුස්මත් අරන් ඇය හමුවීමට වන පොරොන්දුව සමඟ දේව්ට ඊළගට නිවසද අත්හැරීමට සිදු වෙයි....
"තාත්තා කිව්වා,ගම අත්හරින්න කියලා.හැමෝම කිව්වා,පාරෝව අත්හරින්න කියලා.පාරෝ කිව්වා,මත්පැන් අත්හරින්න කියලා.අද ඔයත් කිව්වා,ගෙදර අත්හරින්න කියලා.දවසක් ඒවි,එදාට දෙවියන් කියාවි,ලෝකෙත් අත් හරින්න කියලා."
එයයි දේව්දාස් කතා පුවතම දෙබසකට කැටි කල මොහොත...එයයි පාරෝගේ මව සපථ කල දේව්ගේ විනාශයේ දිග පළල හගවන මොහොත...දැන් සැබෑවටම අත්හැරීමට ඉතිරිව ඇත්තේ ජීවිතය පමණක් බව දේව් හඟවන මොහොත එයයි....
🔘චන්ද්‍රමුඛිගේ කැඩපත බිදී යාම හා හරිත වර්ණ නැටුම
මුල් වරට දේව්,චුනනි බාබු සමඟ චන්ද්‍රමුඛිගේ මැදුරට පැමිණෙන අවස්ථාවේ ඇය ඔහු දකින්නේ තමන් ඉදිරියේ ඇති කැඩපතින්ය...ඇය එක්වරම හැරී ඔහු දෙස බලන විට ඇයගේ කෙස් කළඹ වැදී කැඩපත බිඳී යයි....
චන්ද්‍රමුඛිගේ චරිතය වෛශ්‍යාවකගේ චරිතයක්...නමුත් ඇය ඇයගේ ගෞරවයට මිල නියම නොකරයි..ඕනම අයෙක්ට තමන්ට තමන් හමුවන්නේ කැඩපතක් ඉදිරියේදිය.චන්ද්‍රමුඛිද කැඩපතින් දකින්නේ එක් වෛශ්‍යාවක් පමණි...
නමුත් ඔහු ඇයගේ මැදුරට ඇතුල් වීමත් සමඟ කැඩපත බිදී යන්නේ තව දුරටත් ඇය දුටු ඇය ඇය නොවන බව අගවමින්ය....
එය සැබෑවක් වෙන්නේ ඇය ඔහුට ආදරය කිරීමට පටන් ගත් පසුය.
"Maar daala"ගීතයේ චන්ද්‍රමුඛි කොළ පැහැ ඇදුම්න් සැරසී කරන රංගනය දේව් වෙනුවෙන්ම කරන නර්ථනයක් වෙයි.කොළ යනු නැවත පිබිදීමේ,නැවත ප්‍රාණවත් වීමේ වර්ණයයි.දේව් නිසා ඇයගේ ජීවිතේ නැවත පිබිදීම මෙම හරිත වර්ණ නැටුමෙන් බන්සාලි අරුත් ගන්වයි...
නමුත් පාරෝගේ ආදරයෙන් උතුරා යන දේව්ගේ හදවත නම් වීදුරුව තවත් පිරවිය නෙැහැක...
ස්පර්ශයට පවා තහංචි දැමු චන්ද්‍රමුඛි-දේව් ආදර කතාව තවත් එ්ක පාර්ශවික ආදරයකි...
ඇය වෙනම කුටියක දේව්දාස් ව දෙවියන් කොට සලකා වන්දනා කරන්නේ ඔහු කෙරේ ඇති අසීමිත ආදරය නිසාය.අවසානයේ ඇය ඉල්ලන්නේ ඇයව දේව්දාසි කර ගැනීමටය.එතරම් ප්‍රේමයක් දේව් කෙරෙහි තබාගෙන වෛශ්‍යාවකගේ රාගය ගැහැනියකගේ ආදරය බවට ඇය පෙරලාගන්නාය.
තමන් වෙනුවෙන් එතරම් ප්‍රේමයක් භක්තියක් ඇති චන්ද්‍රමුඛි හට අවසානයේ දේව් ආදරය ප්‍රකාශ කරයි...එ් ඔහු තුල ඇති මහත්මාගතිය පෙන්නුම් කල අවස්ථාවක් සේ සැලකිය හැක.
🔘රක්ත වර්ණ ජවනිකාව
Devdas කීව සැණින් අපට මතකයට නැගෙන්නේ රතු පැහැයයි🔴🔴🔴
විශේෂයෙන්ම අවසන් ජවනිකාව රක්ත ජවනිකාව ලෙස හැදින්විය හැක...පාරෝ පහනට තෙල් දමන විට පිටු පසින් ඇති විශාල තිර රෙදි රතු පැහැතිය...
ඇය සැරසී සිටින්නේ රතු පැහැ තීරුවකින් මායිම් වු සුදු සාරියකින්ය...ඒ වර්ණ දෙකෙන් යුතු සාරිය දේව්-පාරෝ ආදරය නිරෑපණය කරයි.ඇයගේ මුහුණේ විශාල රතු තිලකය,හිසෙහි සින්ධූර් මෙන්ම විවාහයට පෙර දේව් සලකුණු කල රුධිරය ගැලු කැළලත් පාදායේ මෙහෙන්දි වලින් ඇදි රේඛාත් සියල්ල රතු පැහැමය.....
ඇය දිව යන්නේ රතු පැහැ කෝලම් ඇදි පොළොවෙහිය...එසේ දිව යන්නේ රතු පැහැ මල් මත වැතිර සිටින දේව් සොයාගෙනය.අවසානයේ ඔවුන්ට හරස් වන ගේට්ටුවද රතු පැහැතිය
මෙලෙස රතු පැහැය බන්සාලි යොදාගෙන ඇත්තේ රතු යනු ආදරයේ මෙන්ම විනාශයේ වර්ණය නිසාම
වේ...තවද පාර්වතීට කියන තවත් නමක් වන දුර්ගා මෑණියට ආවේණික වර්ණයද රතුම වන නිසා යැයි පැහැදිලි වෙයි...
මෙහිදී දේව්ගේ ඇදුම් වලට ලා වර්ණ,බොහෝ අවස්ථාවල සුදු පැහැය යොදාගෙන ඇති බව දක්නට ලැබේ...
පාරෝ හට රතු පැහැයත් දේව් හට සුදු පැහැයත් ආරෝපණය කර අවසාන දර්ශනය සුදු රතු අතර දෝලනය කරවන බන්සාලි වෛරය හා ශක්තියද වර්ණ වලින්ම ගෙන හරපාන අතරම දේව්-පාරෝ ප්‍රේමය වෙනුවෙන් වන අවසාන සටන ප්‍රේක්ෂකයාගේ දෑසට කදුලක් නංවන අයුරින් ගෙන ඒමට බන්සාලි සමත් වී ඇත...
මෙයයි සංජය ලීලා බන්සාලිගේ මා දුටු සම්මානනීය DEVDAS ⭕⭕⭕⭕⭕⭕
දේව් ලෙස shahrukh khan,පාර්වතී ලෙස Aishwarya rai,චන්ද්‍රමුඛි ලෙස madhuri dixit රංගනයෙන් දායක වන චිත්‍රපටයේ shahrukh khanගේ ප්‍රබල රංගනය චිත්‍රපටය පුරා තිබුනද ඉන් ප්‍රබලම කොටස දේව් දෙවියන් හමුවේ තමන් විසින් තමන්වම විනිශ්චය කර ගන්නා කොටසයි...Aishwarya ගේ ප්‍රබලම කොටස "Bairi piya" ගීතයේ නිරූපණය කරයි..අභිනයන් හා අංග රචනයන් මනාව එහි ඉස්මතු වී පෙනෙයි...
චිත්‍රපටයේ සංගීතය ගැනද කතා කල යුතුමය..Ismail darbar සමඟ Monty sharma සංගීත අධ්‍යක්ෂකණය යටතේ හැඩවන චිත්‍රපටයේ සංගීතය නොතිබුණා නම් devdas මෙතරම් හදවතට සමීප නොවන්නට තිබුණා.shreya goshal ගායනයෙන් දායක වන කුළුදුල් චිත්‍රපටය වන මින් බන්සාලි නවක නිළියකගේ හඬට මුළු චිත්‍රපටයම නතු කර ඇත....එම වසරේ සෑම සම්මාන උළෙලකම ප්‍රධාන සම්මාන සියල්ල ලබා ගැනීමට බන්සාලිගේ devdas සමත් විය...
මේ සියල්ල නිසාමය බන්සාලිගේ devdas විශිෂ්ඨ වනුයේ....
ඕ දේවා..... !
ඕ දේවා....!
මේ සම්මානනීය සිනමා කාව්‍ය රසවිඳි හදවත් සියල්ලගේම තවමත් ඒ හඬ දෝංකාර දෙනවා නොඅනුමානය......
-අනුෂ්ක රසාංජන ද සිල්වා-
මගේ නොවුනමුත් මට අයිති මගේ පාරෝ,
අපේ අන්තිම හමුවීමෙන් දවස් හාරසීය පනස් හතකට පස්සේ මං ඔයාට ලියන පළමු අවස්ථාව තමයි මේ.....කාලය කියන වැල්ලෙන් ගොඩාක් දේවල් හැංගිලා ගියත් ආදරය කියන දේ කාලය ඉස්සරහා සදාකාලික නිසාද කොහෙදෝ ඔයාගෙන් වෙන් වෙලා හිටපු දවස් ගානත් මට හරියටම මතකයි....මං දන්නවා එහෙමයි කියලා දැන් මට ඔයාට ලියන්නවත් අයිතියක් නැහැ කියලා පාරෝ...ඒත් අද මේ මං ඔයාට ලියන අන්තිම වතාව වගේම මේ මගේ නමින් ඔයාට හම්බවෙන අවසන් ලියුමත් වේවි පාරෝ....
මං දැනගත්තා ජීවිතේ අල්ලගෙන හිටපු හැමදේම අත්හැරලා දාන්න වුන මට දවසක ජීවිතෙත් ඉක්මනට අත්හරින්න වෙයි කියලා...ඒත් එ්ක මෙච්චර ඉක්මනින් වෙයි කියලා මං හිතුවේම නැහැ...ඔව් පාරෝ....මට තව වැඩි වෙලාවක් නැහැ කියන එක මටම දැන් දැනෙනවා.....ඒත් ඊට කලින් මං ඔයාට දුන්න පොරොන්දුවක් තියෙනවා...මැරෙන්න මොහොතකට කලින් හරි මං ඔයාගේ ගේ දොරකඩට එනවා කියලා දීපු ඒ පොරොන්දුව වෙනුවෙන් අවසන් හුස්ම පොද එක්ක වුනත් සටන් කරලා මං ඒ පොරොන්දුව ඉෂ්ඨ කරනවා පාරෝ...
මතකද පොඩි කාලේ අපි රඟපාපු නාට්‍යය කොටස්?.... ඒ නාට්‍යය වල සිටුගෙදර මං කුමරා වෙනකොට ඔයා කුමරිය...එක වහලක් යට අපි ආදරය ගැන මළකුර වත් නොදැන එකට හිටපු අතීතය කාලයත් එක්ක අනාගතය වෙනුවෙන් අපි දැකපු හීනයක් වුනා...ඒත් අද , අපි හීන දැකපු නැති මාලිගයක ඔයා කුමරිය,මට අයිති නොවුන....හීන දැකපු තරමට ඒවා හැබෑ වෙනවනම් අපිට මේ ජීවිත කාලය මදි වෙන්න තිබුණා...ඒ හීන හරි පරිස්සමට වීදුරු වගේ අරන් තියලා බලාගන්නකොට අපි දෙන්නා දන්නෙම නැතුව ඒවා බිඳිලා ගිහිං... මෙච්චර පෙම්වතුන් ඉන්න ලෝකයේ අපි වෙනුවෙන් විතරක් දෙවියන් අකාරුණික වුනේ ඇයි කියන ප්‍රශ්නය මං හැමදාම දෙවියන්ගෙන් අහනවා....
එදා සදළුතලයේදී හඳ එළියට පායාපු ඔය මූණ බලන්න ආපු මට දැන් හැමදාම හඳ වෙනුවට පේන්නේ ඔයාව...ගිනිගොඩක් අවසානයේ ඉතිරිවෙන අඟුරු ගොඩ වගේ මගේ මතකයේ වේදනාව කියන ගින්න අවසානයේ ඉතිරි වෙලා තියෙන්නෙත් අපේ මතකයන් විතරයි..ඒ ඔයා ගැන මතකයන් විතරයි පාරෝ... මං වෙනුවෙන් තාමත් ඔයාගේ පහන දැල්වෙනවා කියලා මං දන්නවා පාරෝ...ඒ දැන් ඒ පහන සඳහටම නිවෙන්න කාලය ඇවිල්ලා...ඒ පහන නිවී ගිය දවසට ආපහු ඒක දල්වන්න එපා කියලා මං ඔයාගෙන් ඉල්ලන්නේ මං ඔයාගෙන් ඉල්ලන එකම සහ අවසාන ඉල්ලීම විදියට පාරෝ....
ඔයා නැතිව ගෙවුන කෙටි කාලයෙන් ජීවිතේ පුරාවට ඉගෙන නොගත්ත දෙයක් මං ඉගෙන ගත්තා පාරෝ,ඒ ගඟක් මුහුදට අනිවාර්යෙන් එකතු වෙන්න ඕන වගේම ඉර එළියෙන් සූර්යකාන්ත මල් අනිවාර්යෙන් පිපෙන්න ඕන වගේම ඔයා මගේ වෙන එකත් අනිවාර්යෙන් වෙන්න ඕනමයි...ඒත් මුහුදක් ගඟකට එකතු වෙන්නේ නැහැ වගේම සූර්යකානන්ත මල් ඉර බහිනකොට පිපෙන්නේ නැහැ වගේම අපි එකතු වෙන එකත් ඒ මේ ආත්මේ දි සිද්ධ නොවන දෙයක් පාරෝ....අපි අතරේ දැන් බිම හෙලන්න නොහැකි තරමේ පවුරක් බැඳිලා ඉවරයි...ඔයා එක් පැත්තක මං එක පැත්තක ,වේදනාව මතින් හැදුන ඒ පවුර අතර අද අපි තනිවෙලා පාරෝ...
දැන් මගේ දෙසවන පුරා හදවත ගැහෙන වාරයක් වාරයක් පාසා දෝංකාරය දෙන්නෙ ඔයා දේවා දේවා කියලා මට කතාකරන හඬ පාරෝ...එදා මං තාත්තා එක්ක තරහා වෙලා ගෙදරින් ගිය වෙලාවේ ඔයාගේ දොරකඩ ඉස්සරහට ඇවිත් මාත් එක්ක යන්න ඔයාගේ අත නොඉල්ලපු එක ගැන මං අදටත් පසු තැවෙනවා පාරෝ....ඒත් ඒ අතීතය කියන්නේ හරියට නෙලාගන්න ආසාවෙන් හිටපු සුවඳ විසිරී ලස්සනට පිපුණු පියුමක් නෙලන්න යනකොට පරවෙලා ගියා වගේ හැගීමක් විතරයි....
අවසන් වතාවට මං මගේ වුන මට එළිය නැති හඳ බලන්න එනවා පාරෝ...එදාට මං ඔයාගේ මාළිගාව ඉස්සරහ හිටගෙන ඉන්නකොට ඔයා රතුපාට සාරියක් ඇඳගෙන මං දිහාවට දුවගෙන එන හැටි දකින්න මං හීන දකිනවා පාරෝ..ඒ මට මගේ කියලා තියෙන අන්තිම හීනයයි...මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ මේ අන්තිම ප්‍රාර්ථනාවවත් මං වෙනුවෙන් ඉෂ්ඨ කරලා දෙන්න කියලා...මං එනවා පාරෝ...මං එනවා...
මීට,ඔයාගේ නොවුනමුත් ඔයාට අයිති ඔයාගෙම දේවා.....
❤️❤️❤️
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්
අනුෂ්ක රසාංජන ද සිල්වා
❤️❤️❤️













Comments
Post a Comment