මිසොන් - සේන්

 Mise-en-scene 01




මොකද්ද මේ මිසොන් - සේන් කියන්නේ

චිත්‍රපටයක රූපාරමුවක් සංයෝජනය කිරීමේදී රූප රාමුව රූපරාමුවක් වීම වැදගත් වෙයි...එනම් චික්‍රපටයක රූපරාමු විවිධත්වය හා නිර්මාණකරුවාගේ විශිෂ්ඨත්වය පෙන්වන සාධකයක් විය යුතුවෙයි...

එසේ රූපරාමුවකින් විශිෂ්ඨත්වයක් පෙන්වීමට නම් රූපරාමුව මනාව සංයෝජනය කරගත යුතු වෙයි...ඊට වැදගත් වන ශිල්ප ක්‍රමයක් ලෙස මේ මිසොන් සෙන් ශිල්ප ක්‍රමය හදුන්වා දිය හැකිය...මේ ශිල්ප ත්‍රමය හරහා රූපරාමුවකට අර්ථයක් විශිෂ්ඨත්වයක් එකතු කරගත හැකි වනු ඇත...මේ ශිල්ප ක්‍රමය ප්‍රංශ වේදිකා නාට්‍යකරණයේදි යොදා ගත් ශිල්ප ක්‍රමයක් වෙයි...මේ ප්‍රංශ වචනයේ අර්ථය ලෙස සඳහන් වෙන්නේ 'වේදිකාව තුල පිහිටවීම' වෙයි...එනම් සිනමාව තුලදී 'රූපරාමුව තුල පිහිටුවීම' ලෙස අපට හදුන්වාදිය හැකි වෙයි....

සරලව මිසෙන් සෙන් යනු රූපරාමුවක නැතහොත් දර්ශනයක අප දකින සියළුම දේවල්,එනම් රංගන ශිල්පියා,වස්ත්‍රාභරණ ආලෝකකරණය මෙන්ම පසුතලය ඇතුළු සියළු අංග වල හැසිරවීම නැතහොත් සංයෝජනය වෙයි....අප මීට පෙර සිනමැටෝග්‍රැෆිකරණය යටතේ අවධානය යොමු කල කැමරාකරණය,කැමරා සංයෝජනය,කැමරා කෝණ මේ සියල්ලද මේ ශිල්ප ක්‍රමයට අයත් වෙයි...එසේ මේ ශිල්ප ක්‍රමයට අයත් වන සියළු අංග මොනවාදැයි අපි බලමු..


01.Performance (Actors) - රංගන ශිල්පීන්

චිත්‍රපටයක නළු නිළියන් යනු මිසොන් සෙන් ශිල්ප ක්‍රමයට වැදගත්ම වන අංගය වෙයි...චිත්‍රපටයක රූපරාමුවක ප්‍රධාන තැනක් ගන්නා රංගන ශිල්පීන් රූප රාමුව තුල හැසිරවීම හා චරිතය තුල පිහිටුවීම වැදගත් වන අතර එයින් මිසොන් සේන් ශිල්ප ක්‍රමය විශිෂ්ඨ කර ගැනීමේ කාර්යභාරය අධ්‍යක්ෂක සතු වනවා...


02.Location - දර්ශනතලය

දර්ශන තලය චිත්‍රපටයක වැදගත් වන්නේ ඇතැම් අවස්ථාව ලදී චිත්‍රපටයක පසුබිම ප්‍රධාන චරිතය බවට රංගන ශිල්පියා වෙනු⁣වට පසුතලය යොදා ගත හැකි වෙයි...පසුතලයට සාපේක්ෂව රංගන ශිල්පියාට දෙවනි තැන ලැබිය හැකිවේ...

එමෙන්ම පසුතලය කතාවේ තේමාවට හා අදහසට ඍජුවම බලපෑමක් ඇති කරයි...එනම් පසුතලය යනු කතා තේමාව ප්රෙක්ෂකයාට සම්ප්රේෂණය කරන වැදගත් මාධ්යයක් ලෙස හැදින්විය හැකිය...
ජනප්‍රිය හොලිවුඩ් අධ්‍යක්ෂක ටිම් බර්ටන්ගේ චිත්‍රපට වල පසුතල නිර්මාණය ඒ ඒ චිත්‍රපටයට අනන්‍යතාවයක් සපයනු ලබනවා...එමෙන්ම ඩිස්නි ලයිව් ඇක්ෂන් චිත්‍රපට වල පසුතලය කොතෙක් කතා තේමාවට බලපෑමක් සිදුකරනවාද යන්න ඔබට වැ⁣ටහෙනු ඇති....
පසුතලය ලෙස පවතින පරිසරයම හෝ වෙනමම සකස් කරගත් පරිසරයන් යොදාගන්නා අතර වර්තමානයේදි ග්‍රින් බ්ලු ස්ක්‍රීන් යොදා ගනිමින් පසුව VFX යොදා ගනිමින් පසුතල කෘතිමව නිර්මාණය කිරීමද නූතන තාක්ෂණය සමඟ සිදුවීම සුලභ වෙයි...


03.Colour - වර්ණ භාවිතය

සිනමාවේ වර්ණභාවිතය ගැන ඉදිරියේදි වෙනමම ලිපි පෙළකින් කතා කිරීමට බලා⁣පොරොත්තු වන නිසා මේ ගැන දැනට කෙටියෙන් පැවසීමට ඇත්තේ කතා තේමාවේ ප්‍රබලත්වය ඉස්මතු කරවීමට හා රූපමඟින් අර්ථයක් සැපයීමට වර්ණ භාවිතයෙන් සිදුකරීමට හැකි හෙයින් වර්ණභාවිතය යනුද වැදගත් මිසොන් සේන් ගුණාංගයක් වෙයි...


04.Props - රංග භාණ්ඩ

රංග භාණ්ඩ වැදගත් වන්නේ ඇයි...ඔබට තිරපිටපත් රචනයේදී පලමු ලිපි වලදී Motif හදුන්වාදෙනු ලැබුවා...Motif නැත්නම් මෙහිදී කතා කරන Props යනු චිත්‍රපටයකට අනන්‍යතාවයක් ලෙස යොදා ගත හැකි උපකරණ භාණ්ඩ හෝ මෙවලම් වනවා...උදාහරණයක් ලෙස GOT හි අසිපත් සිහසුන,හැරී පොටර් චිත්‍රපට මාලාවේ මැජික් යෂ්ඨිය මෙන්ම ටයිටැනික් චිත්‍රපටයේ දියමන්ති මුදුව,මේවා සියල්ල ඒ ඒ චිත්‍රපටයේ අනන්‍යතාවයක් ලෙසද හදුනාගත හැකි වනවා...

එසේ නම් මේ මිසෝන් සේන් ශිල්පක්‍රමය නිවැරදිව යොදාගෙන චිත්‍රපටයට අනන්‍යතාවයක් ගෙන ඒමට හැකි වන බව ඔබට වැටෙහෙනවා ඇති...


05.Costumes - වස්ත්‍රාභරණ

නාට්‍ය කලාවේදි හදුන්වන සතර අභිනයන් ගැන ඔබ දන්නවා ඇති...එහි ආහාර්ය අභිනය යනු මේ කතා කරන වස්ත්‍රභරණ ,පසුතලය,රංගාලෝකය,පසුබිම් සංගීතය ඒවාගෙන් අදහස් ප්‍රකාශ කිරීමයි...වස්ත්‍රාභචරණ චරිතයක හැසීරීම චරිතයක ගුණාංග හා ස්භාවය ප්‍රකාශ කල හැකි වනවා...චරිතයක අවුල් සහගත කැළඹිලි සහගත බව ඇදුමින් හා ඊ⁣ට යොදාගන්නා වර්ණ මඟින්ද ප්‍රකාශ කල හැකි වනවා...
විශේෂයෙන්ම වර්තමානය වන විට සුපිරිවීර චරිත ආශ්‍රිත නිර්මාණ වලදී ඔවුන්ගේ වස්ත්‍රාභරණ කොතෙක් නිර්මාණයට බලපෑමක් කරනවාද යන්න ඔබට වැටෙහෙනවා ඇති...මෑතකදී නිකුත් වු Zack Snyder's Justice League චිත්‍රපටයේ සුපර් මෑන්ගේ නැවත පැමිණීම සමඟ ඔහුගේ ඇඳුමේ වෙනස් වීම ප්‍රෙක්ෂකයන්ට පුනරාගමනයක සලකුණු සටහන් කරවීමට සමත් වුනා...එසේ චිත්‍රපටයක වස්ත්‍ර චරිතයක ස්භාවය මුළු මනින්ම වෙනස් කිරීමට දායක වන ප්‍රධාන සාධකයක් වනවා...


06.Hair and Makeup - වේශ නිරූපණය

සතර අභිනයේ සාත්වික අභිනය හෙවත් මුහුණේ ඉරියව් මඟින් අදහස් ප්රකාශ කිරීමේදි මේ වේශ නිරූපණය වැදගත් වනවා...LOTR චිත්රපටයේ දී වේශ නිරූපණය නිවැරදි ලෙස සිදු වූයේ නැත්නම් චිත්රපටයේ පුරාණ හා ඉපැරණි පෙනුම චරිතයට නොලැබී තේමාවට අනුකූල නොවන්නට පුළුවන් වනවා...එසේ ඉතිහාස කතා නිර්මාණයේදී අදාල තේමාවට අනුව වේශ නිරූපණය සිදුවීම අනිවාර්ය ඇයි දැයි ඔබට වැටහෙනවා ඇති...

වේෂ නිරුපණය චරිතයක අනන්‍යතාවය ලෙස යොදාගත හැකි බවට හොදම උදාහරණය ජොනී ඩෙප් හා හෙලේනා බෝමන් කාටර් රංගන ශිල්පීන් දෙදෙනා හදුනවා ⁣දිය හැකිය..ඔවුන් දෙදෙනාගේ චරිත වලින් මේ අදාල චිත්‍රපටය ලෙස හඳුනාගන්නට ප්‍රේක්ෂකයන්ට හැකියාව ඇත්තේ ඒ ඒ චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙනස් වන අනන්‍ය වේෂ නිරූපණය නිසා වෙයි....

තවත් හොඳම උදාහරණයක් ලෙස ජොකර් චරිතය ගෙන ඒමේදි මේවන විට ඒ චරිතය නිරූපණය කර ඇති Jack Nicholson,Heath Ledger,Joaquin Phoenix යන අය වෙන වෙනම මේ අදාල චිත්‍රපටයේ ජෝකර් ලෙස හදුනාගැනීමට අපට හැකියාව ඇත්තේ ඒ ඒ චිත්‍රපටය වෙනුවෙන් ඒ චරිතයට සිදුකරන විශිෂ්ඨ වේෂ නිරූපණය නිසාම වෙයි...


07.Lighting - ආලෝකකරණය

ආලෝකකරණය යනු ප්‍රබල මාතෘකාවක් වනවා..මෙයද වර්ණභාවිතය මෙන් වෙනමම අවධානය යොමු කල යුතු විෂයක් නිසා මෙහිදි මෙසේ හදුන්වන්නම්...ආලෝකයක් යම් පෘෂ්ඨයක පතිත වී සිදුකරන පරාවර්තනය නිසා අදාල වස්තුව අපට දෘශ්‍ය වෙයි....ඒ නිසා ආලෝකකරණයේදි අපට පෙන්විමට අවශ්‍යය දේ කුමක්ද අදාල දේ නිවැරදිව ආලෝකය පාලනයකින් පෙන්වීම සිදුකල යුතු වනවා...
විශේෂයෙන්ම ආලෝකයකට ත්‍රිමාණ තලයක් ත්‍රිමාණ ලෙස ⁣ මෙන්ම ද්විමාන ලෙසද ද්විමාන තලයක් ත්‍රිමාණ ලෙසද පෙන්විය හැකි වනවා...එසේ මුහුණු වල,පසුතලයේ වස්තු වල පෙන්වීම නිවැරදිව පෙන්වීමට ආලෝකකරණය වැදගත් වනවා...මුහුණු වල හැඟීම් හරහා භාව ප්‍රකාශනයන් මෙන්ම රූපරාමුවේ පසුතලය හා වස්තූන් සමඟ චරිතවල ගනුදෙනුව පවා ආලෝකකරණය හරහා ⁣පෙන්වා දිය හැකි වනවා...
කලින් කියු පරිදි ආලෝකකරණය නම් පුළුල් විෂය පථය වෙත වෙනමම අප ඉදිරියේදි අවධානය යොමු කරමු...



08.Film Stock

මෙනම් චිත්‍රපටයේ මාධ්‍යය වෙයි...

Film එකක් යනු කුමක්ද?..ඒ ගැන වෙනමම ලිපියකින්කතා කරන තෙක් Film එකක් යනු ආලෝක සංවේදී සෙලියුලොස් ඇසිටේට් නම් ද්රවයෙන්(වර්තමානයේදී Polyester යොදාගනී) නිර්මිත එමල්ෂන් ස්ථරයක් සහිත සිහින් පාරදෘශ්ය ප්ලාස්ටික් තීරුවක් කැමරාවක් හරහා නිරාවරණය වීමෙන් පසු චලනය වන රූපරාමු පෙළක් වෙයි...

එකී පටල වලින් චලන රූප නිර්මාණය නල නිසා Film Makers ලෙස චිත්‍රපට නිර්මාණකරුවන් හැදින්වූ අතර පටල නොමැතිව වර්තමානයේදි ඩිජිටල් කැමරාවලින් චිත්‍රපට රූගත කිරීම සිදුවුවත් ඔවුන්වද Film Makers ලෙස හදුන්වයි 😉..

අතීතයේ ⁣පටලයේ ප්‍රමාණය 8 mm, 16mm,35mm වු අතර අද වන විට 65mm හා Imax ලෙස 70mm යොදාගනී...කළු සුදු වර්ණ වල චිත්‍රපට නිර්මාණයෙන් පසු වර්ණ චිත්‍රපට නිර්මාණය දක්වා අද වන විට සිනමාව විකාශනය වී ඇත..

ඉතිං මේ මොනයම් ආකාරයට චිත්‍රපට නිර්මාණය කරනවාද යන්න නිර්මාණකරුවා සතු තීරණයක් වෙයි...ඒ කෙසේ වෙතත් චිත්‍රපටයක ගුණාත්මක කලාත්මක බවට එය බලනොපානු ඇත...Mank චිත්‍රපටය කළු සුදු චිත්‍රපටයක් ලෙස මේ වසරේ Best Cinematography සම්මානය දිනාගැනීම ඊට හොඳම නිදසුනයි..වැදගත් වන්නේ මිසෝන් සේන් ශිල්ප ක්‍රමයේ රූපරාමුව පිහිටුවීමයි...



09.Camara Choice and Camara Placement

කැමරාව තෝරාගැනීම කතාවේ තේමාව අනුව සිදුකිරීමත් වැදගත් වනවා...ඇ⁣වටාර්,ඇවේන්ජස් වැනි ඉහළ ආදායම් වාර්තා තබන චිත්‍රපට නිර්මාණයේදි යොදාගන්නා කැමරාව චිත්‍රපටයේ ආදායම් වාර්තා මෙන්ම ගුණාත්මක බවට හේතු වන බව ඔබට වැටහෙනවා ඇති...මෙය අනිවාර්ය ගුණාංගයක් නොවුවත් චිත්‍රපටයට සුදුසු කැමරාව තෝරාගැනීම කැමරා ශිල්පියා සතු කාර්යයභාරයක් වෙයි...

Camara Placement නම් කැමරා කෝණ හා කැමරාවේ උස දුර ගැන අවබෝධයයි....කැමරා කෝණ ගැන කතා කල ලිපියේ කැමරාකෝණ සමඟ රූපරාමුවේ ආර්ථය ගැන ගෙන ආවා ඔබට මතක ඇති...ඉතිං මේ ගුණාංගය රූපරාමුවේ මිසෝන් සේන් ශිල්පක්‍රමයේ පිහිටුවීමට වැදගත් වන ශිල්පීය ක්‍රමයක් වෙයි...



10.Frame Rate

fps නැතහොත් තත්පරයට චලනය වන රූපරාමු ප්‍රමාණය මෙනම් වෙයි...ඊටත් වඩා හැදින්වීම සිදුකලහොත් Slow motion....
චිත්‍රපටයක slow motion දර්ශන ඇතැම් අවස්ථාවලදී චිත්‍රපටය දැනවීමට යොදාගනියි...තත්පරයට චලනය වන රූපරාමු ප්‍රමාණය අඩු කරමින් සිදුකරන මේ ක්‍රියාව සටන් ජවනිකා වලදී බහුලව යොදා ගන්නවා ඔබට මතක ඇති....

(අමතර කරුණක් : Zack Snyder's Justice League චිත්‍රපටයේ 10%ක් Slow Motion දර්ශන වෙයි...😉)


11.Composition - සංයෝජනය

මේ ගැන අප කලින් අවධානය යොමු කලා ඔබට මතක ඇති...සමූහයේ මේ සම්බන්ධ ලිපිය සිනමැටෝග්‍රැෆිකරණය යටතේ පලවු ලිපි පෙලෙහි ඇති...කැමරා සංයෝජනය සිනමැටෝග්‍රැෆිකරණයේදි වැදගත් වන්නේ ඇයි දැයි හේතු සහිතව කල පැහැදිලි කිරීම මිසෝන් සේන් ශිල්පක්‍රමයේ පිහිටුවීමටත් වලංගු වෙයි...



12.Framing - රූපරාමු සැකසීම

Framing නැත්නම් රාමුවක් යනු රූපරාමුව ගෙන එන ආකාරයයි...වස්තුව තබන දුර, චරිතය සිටින ස්ථානය, පසුතලය සමඟ චරිතය හසුකරගන්නා ආකාරය,චරිතය ප්‍රේක්ෂකයා දකින දෘෂ්ඨිකෝණය මේවා සැකසීම නැතහොත් රාමුව සැකසීම තවත් වැදගත් මිසොන් සේන් ගුණාංගයක් වනවා...



13.Depth of Field - ක්ෂේත්‍ර ගැඹුර

Depth of Field නැතහොත් ක්ෂේත්‍ර ගැඹුර කුමක්ද, රඳා පවතින්නේ මොනවා මතද යන්න කලින් ලිපියක අවධානය යොමු කරනු ලැබුවා..ඉතිං රූපරාමුවට ගැළපෙන ක්ෂේත්‍ර රාමුව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි..එය Shallow Depth of Field එකක් හෝ Deep Depth of Field එකක් වනු ඇත...නීති හෝ රීති නැත...තේරීම නිර්මාණකරුවා අතේ පවතී...



14.Sound Design - ශබ්දකරණය

චිත්‍රපටයක රූප රාමුවක් සම්පූර්ණ වන්නේ දෘශ්‍ය මෙන්ම ශ්‍රව්‍ය මාධ්‍යයත් එකතු වීමෙන් පසුවයි...හොරර්,ත්‍රිලර් ශනාරයේ චිත්‍රපට සැලකීමේදී ශබ්දය අදාල සිදුවීම් වලදී කොතරම් වැදගත්ද යන්න ඔබට අවබෝධයක් ඇති බව නිසැකයි...ඇතැම් රූපරාමු වල දෘශ්‍ය මාධ්‍යයට වඩා ශබ්ද මඟින් රූපරාමුවට අර්ථයක් ගෙන ඒමට සමත් වන්නේ වඩාත් යෝග්‍ය එය වන නිසා බව හොරර් ශනාරයේ චිත්‍රපට නිදසුන් සපයයි..
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අපට ඇසෙන ජුරාසික් යුගයේ සතුන්ගේ ශබ්දයන් ඒ ආකාරයෙන් වූයේ නැත්නම් චිත්‍රපටයේ තේමාව අසාර්ථක වනවා ඇති...එයින් චිත්‍රපටය අසාර්ථක වනවා ඇති...ඒ නිසාම නිර්මාණකරුවන් ඒ ඒ සත්ත්වයන්ට වෙනමම ශබ්ද පටිගත කිරීමෙන් එකතු කරඇත්තේ Sound Mixing ක්‍රමය භාවිතයෙන් වෙයි...ඒ ගැන Sounding සම්බන්ධ ලිපි පෙලෙන් අවධානය යොමු කරමු....

වැදගත් වන කරුණ නම් මිසෙන් සෙන් ශිල්ප ක්‍රමය සම්පූර්ණ වීමට ශබ්දයද වැදගත් වෙයි...


15.Music - සංගීතය

පසුබිම් සංගීතය ශබ්දය මෙන්ම වැදගත් වෙයි...ඩිස්නි චිත්‍රපට වල සංගීතය පසුතලය හා චරිත සමඟ සුසංයෝගයෙන් සිදු කරන අපූර්වත්වය ගැන අමුතුවෙන් පැවසිය යුතු නැත...Beauty amd the Beast චිත්‍රපටයේ නැටුම ඔබට මතක ඇතුවා ඇති...එම සිදුවීමේහි චරිත,වස්ත්‍රාභරණ ,පසුතලය මෙන්ම සංගීතයත් ඔබට මතක ඇති...
එමෙන්ම ටයිටැනික් චිත්‍රපටයේ නැව් බඳ සමඟ මැවෙන චිත්‍රපටය සමඟ අපට නොස්ටැලජියානු මතක කැන්දන මියුරු ගීතය ඔබට දැනෙනවා නොඅනුමානයි...එයයි මිසොන් සේන් ශිල්පක්‍රමය රූපරාමුවකට ප්‍රබලව යොදාගැනිමේ ප්‍රතිඵලය වන්නේ....


16.Blocking and Staging - රංග මණ්ඩලය සැකසීම

කලින් කැමරාව හසුරන ආකාරය ගැන අවධානය යොමු කලා මෙන් මෙහිදී අවධානය යොමු කරන්නේ රූපරාමුව තුල චරිතවල හැසිරවීමයි...රූපරාමුවෙන් රූපරාමුවට චරිත වල චලනය හා පිහිටවීම චිත්‍රපටයක අවධානය යොමු කල යුතු වැදගත් දෙයක් වනවා..දෙබස් සමඟ චරිත වල හැසිරවීම සහ රූපරාමු තුල චරිතවල මෙහෙයවීම අධ්‍යක්ෂකගේ කාර්යභාරයක් වන අතර හොඳ අධ්‍යක්ෂකවරයෙක් නිරතුරුව රූපරාමුව තුල චරිත හැසිරවීම සියුම්ව කල යුතු වැදගත් කාර්යයක් වනවා...
මේ පිළිබඳව ඉදිරියේදි සිනමා අධ්‍යක්ෂණය යටතේ අවධානය යොමු කරමු...



17.Post Production - පසු නිෂ්පාදනය

චිත්‍රපටය අවසානයේ අඟුළු දැමීම සිදුවන පියවර හෙවත් පසු නිෂ්පාදනය චිත්‍රපටයේ CGI , VFX වැනි තාක්ෂණික නිෂ්පාදන අවසන් කර ඒවා ද මිසොන් සේන් ශිල්පක්‍රමයේ පිහිටුවීම වැදගත් වනවා...
අද නූතන තාක්ෂණය සමඟ බොහෝ චිත්‍රපටවල වැදගත්ම කොටසද මෙය වන්නේ ඇතැම් විට පසුතලය හා ඇදුම් නිර්මාණය වේෂ නිරූපණය පවා මේ කොටසේදි සම්පූර්ණ කර ගැනීමට ඉතිරිව ඇති නිසාවෙනි....

----------------------------------------------------------------------------------

මේ ආකාරයට විමසා බැලුවේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදි මිසොන් සේන් ශිල්පක්‍රමය මඟින් රුපරාමුවක් ප්‍රබලව හා අර්ථවත් කරගන්නේ කෙසේද කියා වෙයි...මේ මාතෘකාව ඉතා සංකීර්ණ හා වැදගත් මාතෘකාවක් වනවා...ඉදිරියේදි සිනමා අධ්‍යක්ෂකවරු සිය චිත්‍රපටවල රූපරාමු මිසොන් සේන් හි පිහිටුවා නිර්මාණය කරගන්නෙ කෙසේ දැයි විමසා බලමු....




ලිපි නිර්මාණය : අනුෂ්ක රසාංජන ද සිල්වා

Comments

Popular Posts