Kabhi Alvida Naa Kehena

 කිසිදා සමුගන්නා බව නොපවසන්න...❤




සමුගැනීමකදී ඒ සමුගැනීම අසම්පූර්ණයි නම් හමුවීමත් නියතයි.....ඉතිං සමුගැනීම අසම්පූර්ණයි නම් කිසිදා සමුගන්නා බව නොපවසන්න....


කරන් ජොහාර් නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ  හමුවීම් හා වෙන්වීම් අතර දෝලනය වෙන  බැඳීම් වලට අරුතක් එකතු කල Kabhi Alvida Naa Kehena  යනු බොලිවුඩයේ වාණිජ සිනමා ධාරාවේ වෙනස්ම ගැඹුරු අරුතක් ඇති  නිර්මාණයක් ලෙස හදුන්වාදෙන්නට පුළුවන්....


පළමු කොටස යටතේ චිත්‍රපටයේ අරුත් විවරණය ගැන විමසා බලන්නට මෙත්තෙන් මෙහි කතා සාරාංශය මතක් කර ගනිමු...


දේව් යනු පාපන්දු ක්‍රීඩා සමාජයක ජනප්‍රිය හා දක්ෂ  ක්‍රීඩකයෙක් වෙයි...ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ උසස් පාසලේ මිතුරියක් වුද ඉන් පසුව  රැකියාව වශයෙන් මෝස්තර නිරූපණ සඟරාවක ප්‍රධාන අධ්‍යක්ෂක ධූරයක් දරණ රියා සමඟ වෙයි...අහම්බෙන් දේව්ට මායාව හමු වෙන්නේ මායා හා රිෂිගේ විවාහ දිනය දවසේදී වෙයි...ඒ හමුවීම කෙළවර වන්නේ දේව් රිය අනතුරකට මුහුණ දෙමින් වන අතර ඉන්පසුව ඔහුගේ පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස  ක්‍රීඩා කිරිමේ සිහිනය බොඳව යයි....


වසර පහකට පසුව දේව් - රියා දෙදෙනාට කුඩා දරුවෙක් සිටින අතර දේව්ට නැවත වරක් අහම්බයෙන් මායාව මුණ ගැසෙයි..වසර පහකට පසුව දේව් රියා යුවල මෙන්ම මායා රිෂි  විවාහය තුළ සුළු සුළු ගැටළු අැති වන  අතර දේව් තමන්ගේ පාපන්දු සිහිනය බිඳී යාමේ ⁣වේදවෙන් පසු වීමත් රියා තමන්ගේ වෘත්තිය ඉලක්ක කර ඉක්මනින් ළඟා වීමත් දේව් රියා පවුල් කුටුම්බය දෙ⁣දරීමට හේතු වෙයි..මායා රිෂිගෙන් සැමියෙක්ගේ භූමිකාවත් රිෂි මායාගෙන් බිරිඳකගේ භූමිකාවත් නොදැකීම නිසා මායා හා රිෂි  පවුල් කුටුම්බය දෙදරීමට හේතු වෙයි....


මෙසේ මේ විවාහ කුටුම්බයන්යි අභ්‍යන්තර ආරවුල් නිසා දේව් හා මායා එකිනෙකා හා මුලදී සමීප වන්නේ තම තමන්ගේ පවුල් කුටුම්බය රැකගැනීමට ඔවුන් දෙ⁣දෙනා එකනෙකාට  උදව් කරගැනීමේ අරමුණින් වෙයි...නමුත් අවසානයේ සිදු වන්නේ මායා හා දේව් නොදැනීම දෙදෙනා එකිනෙකා වෙත ආදරයෙන් බැඳීමයි....අවසානයේ ඒ හේතුවෙන් දේව් ,රියා හා මායා,රිෂි පවුල් කුටුම්බයන් බිඳී යන අතර දේව් හා මායා අවසානයේ එකතු වෙයි.....


කතා සාරාංශය එසේ වුවත් මෙහි අන්තර්ගතය හා අර්ථය එසේ සරල වන්නේ නම් නැත...ආදරය විවාහය හා අසම්මතය ගැන පවුල් දෙකක් අතර ඇතිවන සංකීර්ණ සිද්ධි දාමයක් ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වා දෙන්නට පුළුවන්...විවාහයක පාදම ආදරය මෙන්ම එය ගොඩනැගෙන්නේ අනෙකා කෙරෙහි ඇති විශ්වාසය හා අවබෝධය මඟින් බව ඉතා සියුම් ලෙස මෙම කතා තේමාව හරහා පෙනවා දෙයි...


ආදරය යනු දෙදෙනෙක්ගේ ආත්මයන් එකට එකතු වී ගමන් කරන ආත්මිය චාරිකාවක් වෙයි...විවාහයක් නම් දෙදෙනෙක් තුල ඇති වන නෛතික බැඳීමක් වෙයි...විවාහය අරුත් ගැන්වෙන්නේ ඒ තුල ⁣ආදරය ඇතිනම් පමණක්ම වෙයි...නැත්නම්එය හුදෙක් නෛතික බැඳීමක් පමණක්ම වනු ඇත...


විවාහය තුල සිදුවන ඝට්ටනයන් ඒ විවාහයේ සාර්ථකත්වයට අනුලෝමව සමානුපාතික වෙයි...අවබෝධය හා විශ්වාසය නිසා ඇතිවන ඝ⁣ට්ටනයව්ට වඩා ආදරය හා සෙනෙහස නිසා ඇති වන ඝට්ටනයන් ප්‍රබල වන අතර එසේ ඝට්ටනය වීමකට ලක්වු පවුල කුටුම්බයන් දෙකක් අතර කතාවේ තේමාව නිර්මාණය වී තිබේ...දේව්-රියා හා ඔවුන්ගේ දරුවා ⁣වන අර්ජුන් එක් කුටුම්බයක් ලෙසත් රිෂි හා මායා එක් පවුල් කුටුම්බයක් ලෙසත් මෙහි අපට හමු වෙයි...


කතාවේ ආරම්භය සිදු වන්නේ කතාවේ ප්‍රධාන චරිත හතර හුදුන්වාදෙමින් වෙයි...සිහිනය පසුපස හඹායන දඩබ්බර සැමියා දේව්,තමන්ගේ වෘත්තිය පසු පස හඹා යන රූමත් බිරිඳ රියා , විවාහයට සැරසෙන සොදුරු අහිංසක තරුණිය මායා හා විවාහයට සැරසෙන කෙළිලොල් තාරුණයා රිෂි....


මායාගේ විවාහයේදි අහම්බයෙන් ඇයට දේව් මුණ ගැසෙන්නේ තව සුළු මොහොතකින් තමන් මුහුණ දෙන ජීවිතයේ තීරණාත්මකම අවස්ථාව ගැන සිතමින් සිටින අවස්ථාවේදි වෙයි...දේව් මායා පළමු හමුවීමේදි ඔවුන් දෙදෙනා අතර සංවාදයෙදි , දේව් හා රියා අතර විවාහයෙන් වසර පහකට පසු තිබෙන බැඳීම ගැන මෙන්ම මායා විවාහ වීමට සුදානම් වන රිෂි අතර බැඳීම ගැනද මෙසේ  පැහැදිලි කරවයි...


දේව් : අර මණ්ඩපයේ ඉන්නේ ඔයාගේ යාළුවාද?...නැත්නම් ඔයා ආදරය කරන කෙනාද?...


මායා ඔහුගේ ප්‍රශ්නයට ගොළු වෙන්නේ ඇය ඊට පිළිතුර නොදන්නා බවට වඩා පළමු වරට මායා තමාගෙන්ම ඒ ප්‍රශ්නය අසන්නේද ඒ මොහෙතෛ් වන බව අගවමින් වෙයි...


දේව් : එච්චර වෙලාවක් ගන්න බැහැ ඒකට..

මායා : මං රිෂිව පොඩි කාලේ ඉඳන් දන්නවා...මගේ අම්මායි තාත්තායි නැති වුනාට පස්සේ රිෂියි එයාගේ තාත්තායි තමයි මගේ පවුල වුනේ...


ඒ පිළිතුර දේව් හාස්‍යට ගන්නේ මේ විවාහ උත්සවය පවත්වන්නේ ආදරවන්තයන් දෙදෙනෙකුගේ එකතු වීමක් ලෙස  නොව හුදෙක් ලෙන්ගතුකමක් අවසානයේ සිදුවන නෛතික බැදීමක් බව ඒ මොහොතේදිම වටහා ගත් බව අගවමින් වෙයි..ඒ මායා තමන්ගේ දෛවය ගැන ඉඟිය අපට ලබා දෙන පළමු අවස්ථාවයි....ඊළඟට දේව්ගේ වාරය,


දේව් : සැබෑ ප්‍රේමවෘතාන්තයන් කාලයේ වැල්ලෙන් වැසී ගොස් අවසානයි...ඉඳින් උත්සහ කරනු  තනන්නට ,කෙටි ආදරකතාවක් හෝ.....


මායා : ඒ කියන්නේ , ඔයා ඔයාගේ බිරිඳට ආදරේ නැත්ද?....


ඒ දේව්ගේ මුව ගොළු වන අවස්ථාවයි....දේව්ගේ කවි පදය අවසානයේ මායා ඔහුගේ වචන වලින් ඔහුවම ගොළු කරවයි....


මායා: ඔයාට ඔච්චර වෙලාවක් ගන්න බැහැ ඕකට

දේව් : අපි සතුටින්...අපි දෙන්නා එකතු වෙලා අපේ ලෝකය හදාගත්තා...

මායා : ඒක මගේ ප්‍රශ්නයට උත්තරය නෙවෙයි....


ඇත්තටම දේව්ටත් මායාටත් හිමිව ඇත්තේ එකම ඉරණමක් වන අතර වෙනස ඇත්තේ දෛවයේ තීරණය දෙදෙනාට  ලබා දුන් කාලයේ පමණයි....කෙනෙක්ට තමන්ගේ බැදීමක් ගැන එකවර පවසන්න අපහසු නම් ඒ බැඳීම එක්කෝ අසම්මත හෝ නැත්තම් සංකීර්ණ බැඳීමක් වෙයි..දේව් හා රියාගේ බැඳීම අසම්මතයක් නොවන බව පැහැදිලි


මීළඟ දෙබස මුළු චිත්‍රපටයේම තේමාව අරුත් ගන්වන අමුත්තන් දෙදෙනෙක්ගේ හැඟීම් හා දෛවය සමපාත කරවන දෙබස් කණ්ඩයයි...


දේව් : මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය මගේ උත්තරයට වඩා ඔයාගේ ජීවිතයයි....ඔයා ජීවිතයේ පාරවල් දෙකක තියෙන හරස් පාරකට ඇවිත් ඉන්නේ...එක පාරක තියෙන්නේ ඔයාට ලැබෙන්න අයිති ඔයාගේ  සතුට...අනිත් පාරේ තියෙන්නේ, සමහරවිට ඔයාට හම්බවෙන්නේ නැති වෙන්නත් පුළුවන් ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න එක..


මායා : එතකොට මොකද වෙන්නේ ඒ ආදරය මට විවාහයෙන් පස්සේ හම්බවුනොත්?...


දේව් : ඒක...ඔයා හෙව්වේ නැත්තම් ඔයාට හම්බවෙන එකකුත්  නැති වෙයි...


දේව් විවාහ වුනේ ආදර සම්බන්ධයකින්...ආදර⁣යක් නොමැතිව විවාහ වී පසුව ඒ විවාහය තුළින් ආදරයක් හමුවේවිද?..මායාගේ ප්‍රශ්නයට දේව් පිළිතුර නොදනී... නමුත් මායාට පිළිතුරක් දීම අවශ්‍ය නිසාම ඔහු ගැලවීමට දෙන පිළිතුර ඇයට බලාපොරොත්තුවක් ඇතිවීමට හේතු වුනත් එය සැබෑවටම සිදු වේවිද?..


අමුත්තන් දෙදෙනාගේ සංවාදය අවසාන⁣යේ දැන් වෙන්වීමක හමුවීමක් ළඟ ඇයගේ දෙබස් ඛණ්ඩය මෙසේ වෙයි....


මායා : යනවා කියන්න එපා...යනවා කියන⁣කොට ආපහු හම්බවෙන්න එකක්  නැහැ කියලාත් කියවෙනවා....කවුද දන්නේ, අපි ආපහු හම්බවෙයිද කියලා...


එ⁣සේ මායාගේ හා දේව්ගේ කෙටි පලමු හමුවීම අවසන් වෙන්නේ දෙදෙනාගේ දෛවය  දෙදෙනා වෙනුවෙන් තීරණාත්මක ඉරණමක් හිමිකරදෙමින් වෙයි....දේව්ගේ සිහිනය බොඳව යද්දි මායා ආදරය වෙනුවෙන් බලාහිඳින මාවතේ පාදා යාත්‍රාකරන්නට සුදානම් වෙයි...


වසර 4ක් ගතවෙයි....දේව් හා මායා නැවත වරක් අහම්බයෙන් මුණ ගැසෙන්නේ නොසිතු නිමේෂයක නොසිතු සිදුවීමක් නිසා වෙයි...ඒ මොහොත වන විට දේව් තමන්ගේ අවාසනාවන්ත ඉරණම නිසා ඔහුගේ පාපන්දු සිහිනය අහිමි වීමේ වේදනාවෙන් හා තම බිරිඳ වු රියා ඇයගේ වෘත්තිය සමඟ පවුල දෙවනිකොට සැලකනවා යැයි දැනෙන හැඟීම් නිසා වේදනාව හා කෝපය මුසුව තමන් තුළම අතරමං වී සිටින්නේය... එවිට මායා, බිරිඳකට වඩා සැමියාගේ මවගේ භූමිකාව රඟදක්වමින් අතරමං  වු මාවතක ආදරයක් හමුවන තුර ගමන් කරමින් සිටින්නාය...ඔවුන්ගේ නැවත හමුවීමේදි දේව්ගේ මේ දෙබස හරහා  ඔවුන්⁣ දෙදෙනාගේ ජීවිත වල වර්තමාන තත්වය පැහැදිලි කර දෙයි....


දේව් : මේ දේවල් කරලා ඔයාට ඔයාගේ හිස්බව නැති කරගන්න පුළුවන්...මොකද ඔයාගේ ජීවිතය හිස්වෙලා වගේම අසම්පූර්ණයි....ඔයාගේ ඇස් වලින් ඒක පේනවා...හරියට මගේ වගේම...


දේව්ගේ ජීවිතය තමන්ගේ සිහිනය අහිමි වීම නිසා හිස් වී ඇති සේම මායාට කිසිදිනක දරුසෙනෙහසක් ලැබීමට වරම් නොමැති නිසා ඇයත් පසු වන්නේ හීනයක් වු හීනයක් නිසා ඇති වු හිස්බවකින්ම වෙයි...කාන්තාවක් සාමාන්‍යයෙන් විවාහයක බලාපොරොත්තු වන වැදගත්ම දේ ආදරය..දෙවනුව දරුවන්...ඒ දෙකම ගැන බලාපොරොත්තුවක්වත් නැති මායා කෙසේ නම් සිය ජීවිතයේ සතුට ගැන අර්ථ දක්වන්නද?.....


පිරිමියෙක් විවාහයෙන් බලාපොරොත්තු වෙන වැදගත්ම දේ අයිතිය...තමන්ගේ කියන අයිතිය ඔහු නිතරම බලාපොරොත්තු වෙනවා...නමුත් දේව් සිටින්නේ තමන්ගේ අයිතිය ගැන ප්‍රශ්න කරමින්... රියා ගැන ඔහුට තියෙන අයිතිය ඔහු විසින්ම ප්‍රතික්ෂේප කරමින් සිටියි...ඒ රියා හොඳ බිරිඳක් නෙවන නිසාද ඇය පවුල ගැන නොසිතන නිසාද,නැත්නම් ඇය ඇයගේ හීන හඹා යන නිසාද..ඇත්තටම වරද රියාගෙද දේව්ගෙද...ඒ ගැන දැනට අපට ඇත්තේ ගැටළුවක්....


එසේ ප්‍රශ්න කිහිපයක් ඉතිරි කරමින් හිස්වු අසම්පූර්ණ ජීවිත සිය අඹු සැමි භූමිකාව ගෙවන මේ පවුල් කුටුම්බයන්හි සැබෑ ස්වරූපය විවර වන්නේ ඊළඟට වෙයි....


රියා : මං ආදරේ කරන්නේ පරණ දේව්ට...ඒත් එයා කොහේ හරි නැති වෙලා...


දේව් : ඔයාම තමයි එයාව නැති කරගත්තේ...


දේව් රියා විවාහ වන්නට පෙර හොඳම මිතුරන් වෙයි...විවාහයෙන් පසුව රියාට තම වෘත්තිය නිසා පවුල මඟ හැරීම දේව්ට තදින්ම දැනෙන්නේ තමන්ගේ සිහිනය හඹා යාමට නොහැකි නිසා ඇති වු වේදනාවත් සියුම් ඊෂ්‍යාවත් නිසා විය යුතුයි....එවැනි අවස්ථාවක් සියුම් දෙයක් වුනත් අඹු සැමි ආරවුලකට පලමු උණ්ඩය දියත් කරයි....දේව් රියා සිය වචන වලින් එකි නෙකාට තියුණු  ප්‍රහාර එල්ල කරගන්නේ ඇදුමක් මුල් කරගෙන වීම ඊට හොඳම උදාහරණයයි....


මායා : මොකද්ද ප්‍රශ්නේ රිෂි?..මට කාත් එක්කවත් සම්බන්ධයක්යත් හරියට පවත්වන්න බැහැ?කිසිම දේකට ආසාවක් හරි අඩුම ගානේ පොඩි බොළඳ ගතියක්වත් නැහැ වගේම මං හොඳ බිරිඳක් නෙවෙයි...ඒ වගේම මට අම්මා කෙනෙක් වෙන්නත් බැහැ...මෙච්චර දුර්වලකම් තිබිලත් ඇයි මාව අතහරින්නේ නැත්තේ?...


හදවත් දෙකක බැදීමකදී එක් හදවතක වේදනාවෙන් බැඳීිම කොතෙක් ශක්තිමත් වුවත් එය ක්ෂණයෙන් එය බිදී යනු ඇත...එසේ බිඳුණු හදවතක් ඇති කෙනා තමන් දුර්වලයෙක් ලෙස හා තමන්ගේ ඍණාත්මක චරිතය ගැන පසුතැවෙන්නේ අනෙකාට ඊට දෝෂාරෝපණය සිදු කරමින් හෝ තමන්වම පහත් කොට සලකා අනුකම්පාව ලබා ගැනීමේ සියුම් අදහසකින් වෙයි..මායා තමන් ගැනම දක්වන අවතක්සේරුව රිෂි ඉදිරියේ දිග එසේ දිගහරිද්දි රිෂි ගේ පිළිතුර මෙසේ වෙයි...


රිෂි : අපි දෙන්නාගෙම දුර්වලකම් තියෙනවා මායා...ඒත් ඔයා හැමවෙලේම කතා කරන්නේ මේ  සම්බන්ධය ඉවරයක් කරන  එක ගැන...මං කතාකරන්නේ ඒක පරිස්සම් කරගන්න...


බැඳීමක්දි කලින් කියු පරිදි එක් හදවතක් බිඳුණු කෙනා බැදීම දුර්වල කරද්දි අනිත් කෙනා බැදීම ශක්තිමත් කරන්න උත්සහ දරයි....විවාහය යනු දෙදෙනා අතර අවබෝධය හා සවන් දීමයි...නමුත් මායා හා රිෂි බැදීම දුර්වල වන්නේ ඒ අවබෝධය හා අනෙකාට සවන් දීම දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීම නිසයි...ඇයව ⁣ඔහුටත් ඔහුට අැයවත් අවබෝධ කරගන්න බැරි බැදීමක යදම් කෙසේ නම් නොබිඳි තියේවිද?...


දේව් - රියා හා මායා - රිෂි පවුල් කුටුම්බය මෙසේ ඝ⁣ට්ටනයට ලක් වෙද්දි මේ විවාහයන් ද්විත්යේම අනාතගතය පෙන්වන කැඩපත වන්නේ රිෂිගේ පියා වූ සෑම් හෙවත් සමර්ජිත් වෙයි..ඔහුගේ විවාහයේ  අතීතාවර්ජනය සිදු කරන පහත දෙබස හරහා දේව් හා රියා ඔවු⁣න්ගේ පවුල් ජීවිතයත් මායා හා රිෂි ඔවුන්ගේ පවුල් ජීවිතයත් විනිවිද දකින අතර එය වර්තමාන සමාජය තුල බොහෝ පවුල් ජීවිත වලද කැඩපත බව නොරහසකි....මේ දෙබස් ඛණ්ඩය කරන්ගේ චිත්‍රපට වල හමුවු හොඳම දෙබස් කණ්ඩය ලෙසද පැවසිය හැකි වෙයි...


සමර්ජිත් : මගේ හීන නිසා මං එයාව අමතක කරපු එක වෙනුවෙන් මං එයාගෙන් සමාව ඉල්ලනවා...හැමවෙලේම මං එයාගේ හිත රිද්දුවා මිසක් එයාව සතුටින් තියපු නැති එක ගැන සමාව ඉල්ලනවා...ඒ සේරටම වඩා මං එයාගෙන් සමාව ඉල්ලන්නේ මට ⁣ඕන තරම් අවස්ථාව තිබිලාත් මං එයාට කොච්චර ආදරේ කරනවාද කියලා මට කියාගන්න බැරි වුන එකට...මං හිතුවා මට ඒක කියන්න ඕන තරම් කාලය තියෙනවා කියලා...ඒත් මං වැරදියි...එයා මේ ලොකයෙන් ගියාට පස්සේ මට ඒ අවස්ථාව නැති වුනා...


සමර්ජිත් යනු පිටතින් සෑම් යන චරිතය තුල විනොදයෙක් හා සැහැල්ලුවෙන් ජීවත් වෙන එහෙත්  ඇතුළතින් තමන්ගේ අතීත කර්මයන්ගේ වේදනාවෙන් හා තමන්ගේ වැරදි ගැන පශ්චාත්තාපයට පත් වී සිටින කෙනෙක් වෙයි...ඔහුද බැදිම් ගැන හොඳ ඉවක් ඇති බව චරිතය තුලින් පෙන්වයි...මායා උත්සවයෙන් පිටත් වීමට යන බව දකින් සමර්ජිත් ඇයව නවත්වා සිදු කරන ඔහුගේ අතීතාවර්ජනය අවසානයේ ඔහු මෙසේ තව දුරටත් පවසයි....


සමර්ජිත් : ඒක තමයි මං හැමදාම කියන්නේ ඕනම දේකට වෙලාව කියන්නේ මේ දැන් කියන එක...ආදරය කරනවා නම් මේ දැන් කරන්න...සමාව ඉල්ලනවා නම් මේ දැන් ඉල්ලන්න...අත අල්ලන්න ඕන නම් මේ දැන් අල්ලන්න..එහෙම නැත්නම් දවසක ඔයාට ඔයා  ආදරය කරපු කෙනාගෙන් මේවගේ පාටියක සමාව ඉල්ලන්න වෙයි,හරියට මං වගේ......


ජීවිතය තුල අපට ලැබෙන හොඳම මොහොත මේ මොහොතයි...සිහින හඹා යන්නේ ඒවා අනාගතය සතු නිසා වෙයි....අනාගතයක් ගැන අවිනිශ්චිතව වර්තමානය තුල සියල්ල අනාගතයට භාර කිරීම හමුවේ ඒවා සිහින බවට පත් වෙයි...ඉතිං බැදීම් තුල යුතුකම් හා වගකීම්ද අනාගතයට භාර කිරීම හමුවේ ඒවා සිහිනයක්ම පමණක් වනු ඇත..ඒ බව සමර්ජිත්ගේ දෙබසින් මනාව පෙන්වා දී ඇත....ඔබ කෙනෙක්ට ආදරේ නම් හෝ ඔබ කෙනෙක් ගැන බලාපොරොත්තුවෙන් සිටී නම් හෝ ඔබ කෙනෙක් ගැන සිතනවා නම් හෝ ඔබට කෙනෙක් නැති අඩුව දැනෙනනවා නම්, එය අනාගතයට භාර කර සිහිනයක් කරගන්නවා වෙනුවට එය පැවසීමට ඇති හොඳම මොහොත මෙය කරගන්න...


මේ සමර්ජිත්ගේ අතීතය තුලින් උගත් වැදගත් පාඩමක් රිෂි හා මායාට පවසන අවස්ථාවක් වුවත් මෙය දේව් හා රියාටද හදවත ආමන්ත්‍රණය කල හා ඔවුන්ගේ විවාහ ජීවිතයද විනිවිදව දුටු අවස්ථාවක් බව ඔවුන්ගේ ප්‍රතිචාරය හමුවේ පෙනී යයි....


මීළඟට මිත්‍රත්වයට ඇරයුමක් ලැබෙන අවස්ථාවයි...සමර්ජිත්ගේ අතීතාවර්ජනය නිසා ඔහු ගැන පැහැදුණු දේව්ගේ මව සමර්ජිත් හා මිත්‍රත්තවයක් ගෙඩනගා ගන්නා අතර ඒ මිත්‍රත්වය ගැන ⁣දේව්ට හා මායාට පැහැදිලි කරන්නේ මෙසේ වෙයි..


කමල්ජිත් : අපි දෙන්නාටම අපේ ආදරය අවුරුදු ගානකට කලින් නැති වුනා...දෙන්නෙක් එකම පාරක යනකොට එයාලා තේරුම් ගන්නවා එයාලා ළං වෙන එක හොඳයි කියලා...එතකොට වෙන කාටවත් කියන්න බැරි දේවල් ඒ දෙන්නාට දෙන්නා කියාගන්නවා...


ඒ දෙබසින් කමල්ජිත් කියන්නේ සමර්ජිත් හා කමල් ජිත් අතර ඇතිවන මිත්‍රත්වය ගැනයි...මේ දේව් හා මායා අතර මිත්‍රත්වයක් ඇතිවන අවස්ථාවයි....


මායා : මගේ කසාදය කැඩෙන්න යන්නේ දේව්...ඒ වගේම මං දන්නවා ඔයාගෙත් එහෙමයි කියලා...මට මගේ කසාදය තනියම බේරගන්න අමාරුයි...මට ඒකට යාළුවෙක්ව ඕන කරනවා...මාව තේරුම් ගන්න පුළුවන්,මට තේරුම් කරවන්න පුළුවන් මං වගේ හිතන කෙනෙක්...ඒ ඔයා නෙවෙයි නම් වෙන කවුද?...


ආදරයට මෙන්ම මිත්‍රත්වයකට විවාහයකට වැනි බැදීම් තුල ඇත්තේ අවබෝධහා විශ්වාසයයි.....නමුත් අරමුණක් වෙනුවෙන් ඒ බැඳීමක් ඇති වෙනවා නම් එහි ඇත්තේ ව්‍යාජ බැදීමක් වෙයි...සමර්ජිත් හා කමල් අතර ඇති මිත්‍රත්වය ආදර්ශයට ගෙන අැති වු දේව් හා මායා අතර මිත්‍රත්වය අරමුණක් වෙනුවෙන් ඇති වු මිත්‍රත්වයන් වෙයි...ඉතිං ඒ මිත්‍රත්වය ව්‍යාජ බැඳීමක් පමණක්ම වෙයි..


දේව් : අමුත්තන් දෙ⁣න්නෙක් එකතු වෙලා තම තමන්ගේ බැඳීම් බේරගන්න අළුත්  බැදීමක් අැති කරගන්නවා,ඒ වැස්සත් එක්ක අපි දෙන්නාගෙන් කවුරුවත් ඉස්සරහට එනන්ත තියෙන කුණාටුව දැක්කේ නැහැ...


මිත්‍රත්වයක් ආරෝපණය කරගෙන දේව් හා මායා අතර පළමු වරට ඒ බැඳීම ඇතිවන අවස්ථාවේ කඩා හැලෙන වර්ෂාව ඔවුන් දුටු නමුත්  ඉදිරියෙන් අැති කුණාටුව ඔවුන් නොදුටු බව දේව්ගේ ඒ දෙබසනින් සනාථ කරවයි...සැබෑවටම කුණාටුව හමන්නේ ඉන් පසුව වෙයි....


දේව්ගෙ සිතේ යමක් තෙරපෙද්දි, ඒ හැගීම් වචන වලට පෙරලන්න ඔහු වෙහෙසෙද්දි, මායා තමන්ගේ විවාහය රැකන්න සැබෑවටම මහන්සි වෙයි....ඇය රිෂිට පරිපූර්ණ බිරිදක් වන්න වෙහෙස වෙන්නේ මිත්‍රත්වයේ අරමුණ අනුව දේව්ගේ හා රියාගේ බැදීමද ශක්තිමත් කරගැනීමට උපකාර වෙමින් වෙයි...නමුත් දේව්, මායා සමඟ තමන් තුල වෙනමම ලෝකයක අතරමං වෙයි......


මිනිසුන්ගේ සතුට තීරණය වෙන්නේ ලැබීම් මත වෙයි...අනපේක්ෂිත ලැබීම් වලින් නොසිතු සතුටක් එක්වරම හිමිවීම සතුටෙහි උපරිම අවස්ථාවයි...අතීතයේ සිට මිනිසා එක්නෙකා හා ⁣හුවමාරු කරගන්නා භෞතික දේවල මඟින් ඔවු නොවුන් අතර හොඳ සම්බන්ධතාවයක් , බැදීමක්  ගොඩනඟා ගනියි...පෙම්වතුන් හා පෙම්වතියන් ලෙස විශේෂ දිනයන් හා විශේෂ පුදුම කරවීම් සිදු කිරීමේදීත් සිදු වන්නේ ඔවු නොවුන් එකිනෙකා සතුටු කරවමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩා නැඟීමයි...එසේම  විවාහයෙන් පසුවත් සැමියා හා බිරිඳ අතර එසේ තෑගි භෝග හුවමාරු කරගැනීමෙන් හෝ පුදුමකරවීම් වැනි දේවල් සිදු වේ නම් එවැනි සතුටක් කාලාන්තරයක් තිස්සේ ඇතිවු ආරවුල් හා මතභේදයන් සැනෙකින් අතුරුදහන් කරවීමට පවා සමත් වෙයි....


මායා හා දේව් ඔවුන් දෙදෙනාගේ එකම දිනයට යෙදී තියෙන විවාහ සංවත්සර සැමරුම සංවිධානය කරන්නේ කලින් කියු අ⁣නපේක්ෂිත සතුටක් රිෂි හා රියාට ලබා දී තම තමන්ගෙ පවුල් කුටුම්බයෙහි ආදරය නම් සියුම් පාදම මත සතුට නම් ශක්තිමත් පවුරක් ගොඩනැගීමේ අරමුණින් වෙයි....නමුත් පාදම දුර්වලයි නම් පවුර කෙසේ ⁣ගොඩනගන්නද...


දේව් සිටින්නේ තමන් තල අතරමං වෙමින් වෙයි...ඔහු තව දුරටත් රියාට සවන් දීමට සුදානම් නැත...දේව්ගේ චරිතය චිත්‍රපටයේ වීරයා හෝ දුෂ්ඨයා නොවන බවත් ඔහු චිත්‍රපටයේ එකම අළු චරිතය බවත් පෙන්වා දෙන්නේ ඔහු හා රියා අතර ඔවුන්ගේ විවාහ සංවත්සරය දින රාත්‍රියේ සිදුවන වචන හුවමාරුව තුලින් වෙයි....


රියා තම චරිතය තුල කොතනකවත් දේව් ගැන චෝදනාවක් හෝ තම විවාහය ගැන කලකිරීමක් නොපෙන්වුවද මෙතනදී ඇය ඇයගේ ඉවසීමේ අන්තයට පැමිණ හමාරයි...ඇයට එල්ල වෙන චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට ඇය යොදාගන්නේ දේව්ගෙන් අැයට එල්ල වු තියුණු වදන් ඒ ආකාරයටම ආපසු හරවමින් වෙයි...


රියා : ඔව් දේව් මට කාලයක් තිබුණේ නැහැ...මොකද මං ගොඩාක් මහන්සි වෙලා වැඩ කලා...පිරිමි එයාලගේ වැඩ නිසා බිසී වෙනකොට,එයාලගේ ළමයි වෙනුවෙන් කාලය නැති වෙනකොට  කරනකොට කවුරුත් ඒ ගැන අහන්නේ නැහැ...ඉතිං ඇයි මගෙන් අහන්නේ?....ඇයි දේව් මගෙන් අහන්නේ...මොකද ඇත්ත මේකයි, මං තමයි මේ ගෙදර පිරිමියා..


රියාගේ චරිතය කිසිවිටකත් තම සැමියාට දෝෂාරෝපණයන් එල්ල නොකර තමන්ගේ අරමුණු හා හීන වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරමින් සැබෑවටම සැමියාගේ භූමිකාව නිරූපනය කරන බිරිඳක් වෙයි...සාමාන්‍යයෙන් පවුලක සැමියා නැත්නම් පියා කාර්යබහුලයි...ඔහු පවුල සමඟ දරුවන් සමඟ ගැටෙන්නේ අඩු කාලයක්...නමුත් ඒ ආදරය සෙනෙහස පිළිබඳ ගැටළුවක් නොව, තම පවුලෙ අනාගතය හා ආර්ථිකය වෙනුවෙන් වෙයි...


එක් අයෙක් විසින් පවුලේ වගකීම් අත හැර ආර්ථිකය වෙනුවෙන් වෙහෙසීම,මෙය අද  සමාජයේ පොදුවේ පවුල් ආරවුල් වලට මූලිකම හේතුවක් වෙයි...විවාහය නම් අවබෝධය හා සවන් දීමයි...මේ ගැටළුවට පිළිතුරත් එයයි...දේව් මෙන්ම රියාත්  තවදුරටත් සවන්දීමට හෝ අවබෝධය කරගැනීමට සුදනම් නැත...


රියා : ඔයා මට රිදෙව්වා විතරයි දේව්...මං හැමවෙලෙම හිතුවා ඔයා මට රිද්දන්නේ මට ආදරය කරන නිසා කියලා...ඒත් ඇත්ත ඒක නෙවෙයි...ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ කලේ නැහැ...ඔයා ආදරේ කරන්නේ නැහැ කාටවත්...ඔයා වෛර කරනව විතරයි...ඔයා ඔයාගේ ජීවිතයට ඔයාගේ අසාර්ථකත්වයටත් වෛර කරනවා විතරයි...


රියා : මට හිතාගන්න බැරුව හිටියේ,ඔයාව හැමවෙලේම කේන්ති ගස්සන්නේ ඔයාගේ අසාර්ථකත්වයද නැත්තම් මගේ සාර්ථකත්වයද කියලා..


දේව් : ඔව් මං අසාර්ථකයි...ඒත් ඔයා දන්නවාද මේ ගෙදර මටත් වඩා අසාර්ථක දෙයක් තියෙනවා...අපේ බැඳීම..අපේ විවාහය...


දේව් තමන්ගේ හීනය , තමන්ගේ අනාගතය මේ සියල්ගෙන්ම අසාර්ථක වු අයෙක්...ඔහු තිබුණ එකම බලාපොරොත්තු හා ශක්තිය වූයේ රියා ආදිත්‍ය නම් ඔහුගේ පවුලයි...නමුත් තමන් හෝ තමන්ගේ පවුල වෙනුවෙන් රියාට වෙන්කිරීමට කාලයක් හෝ  ඒ ගැන උනන්දුවක් නැති බව ඔහු සිතුවේය...තමන්ට සියළු වගකීම් පවරා අැය ඇය වෙනුවෙන් මහන්සි වනවා පමණක් බව දේව්ගේ හදවතට තදින්ම දැනනෙන්ට විය....රියාට තමන්ගේ සිහිනය හා අනාගතය වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරද්දි ඇය පවුලේ වගකීම් සියල්ල දේව් මත පැවරුවාය...ඇය දේව්ගෙන් බලාපොරොත්තු වූයේ පවුලේ වගකීම් ඇය වෙනුවෙන් ඉටු කිරීමයි...ඒ වෙනුවට ඇය  පවුලේ ආර්ථිකය හා අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සි වූවාය...නමුත් දෙදෙනා දෙදෙනාට විවෘත වීමටවත් එකිනෙකාට සවන් දීමට හෝ අවබෝධ කර ගැනීමටවත් වෑයමක් නොදැරු හෙයින් ඒ නිවස තුල  පවුල් කුටුම්බය වඩාත් අසාර්ථකම දෙය විය...


විවාහ සංවත්සර රාත්‍රිය ශෝකාන්තයක් වූයේ දේව් හා රියාට පමණක්  නොව...මායා හා රිෂිටත් එය එලෙසම විය...


මායා : අපේ බැදීම එකට නිදාගන්න එකෙන් විතරක් පවත්වගන්න බැහැ රිෂි...ඒක පවතින්නේ එකිනෙකා දුක සතුට බෙදාගන්න එකට බෙදාගන්න එකෙන්...අපි කවද්ද අන්තිමට ඒක කලේ රිෂි...කවද්ද..සැමියෙක් බිරිඳක් ඇද විතරක් නෙවෙයි බෙදාගන්නේ...ජීවිතයත් බෙදාගන්නනවා...


රාගය නම් අාදරයත් සමඟ ඇති වෙන දෙයක් සේම  රාගයෙන් තොර ආදරයක්ද නොපවතී...විවාහය ආදරයේ කඩඉමක් නම් රාගයත් විවාහයේම කොටසක් වෙයි...නමුත් මායා,තවමත් අතරමං වු මාවතක හිඳ ආදරය හමුවන තුර බලා සිටියි...ඉඳින් කෙසේ නම් ඇය ඇයගේ පතිවත ආදරයක් නොමැතිවම රිෂිට  පුදන්නද?...එය දැන් මායා පමණක් නොව රීෂිද දන්නේය...


රිෂී : ඇත්ත මේකයි මායා,ඔයා කවදාවත් මාව කසාද බැන්දේ නැහැ...නිකං ගිවිස ගත්තා විතරයි...මං ඔයාට නිකම්ම ගිවිසුමක් විතරයි...ඔයා ඒ ගිවිසුම නිසා හැමදාම පසුැවෙනවා නේද..


මායාගේ හා රිෂිගේ විවාහය සිදු වුයේ එක් හිතක පමණක් සැබෑ ඇදරයක් ඇතිවයි....එතැන් සිට මෙතෙක් මායා බලා සිටියේ විවාහයෙන් පසුව තම ආත්ම සමහකරුගේ ආදරය හමුවන තුරු වෙයි...නමුත් අවාසනාවට ඇය විවහා වී සිටින්නේ තම ආත්ම සහකරු සමඟ නොවේ...මායාගේ හෘදසාක්ෂිය රිෂිගේ ප්‍රශ්නයට පිළිතුර හොඳින්ම දනියි... රිෂි මෙසේ ඔවුන්ගේ විවාහය තුල ඇති බැඳීමේ නිරුවත දිගහරිද්දි ඇයට කිරීමට සිදු වී ඇති එකම දෙය නිෂ්ශබ්ධව සිටීම පමණයි...


දේව්ගේ හදවතත් මායාගේ හදවතත් දැන් එක වගේ තියුණු වචන වලින් පසාරු වී හමාරයි....බලාපොරොත්තුවක් නැති අරමුණක් නැති බැඳීමකට අයිතියක් නැති දෛවය හමුවේ අන්ත පරාජය හා වේදනාවට පත් වු දේව් මායා අවසානයේ තමන්ට සුපුරුදු තැනදි හමුවන්නේ අනෙකාව අපේක්ෂාවෙන් නොවුනත් දේව් මායාව තවත් අසරණ කරන්නේ ඔහුගේ හැඟිම් මායා ඉදිරියේ විවෘත කරමින් වෙයි...


දේව් : මං බැඳපු මිනිහෙක් මායා...සමහරවිට ඔයාට අමතක ඇති ඔයත් එහෙමයි කියලා...ඉතිං අපි දෙන්නම බැඳලා නම් මේ වගේ රෑ මැද අපි දෙන්නාම මෙතන තනියම මොකද්ද කරන්නේ?...මං හිතනවා මට උත්තරයක් ඔයාගේ ප්‍රශ්නයට තියෙනවා කියලා හරිද?...අහගන්න ඇත්තටම උත්තරය මායා...මං ඔයාට ආදරෙයි මායා......


දේව් මායාට ආරාධනා කරන්නේ අසම්මත ප්‍රේමයකට වෙයි...සම්මතය හෝ අසම්මතය හෝ කාරණය ආදරය නම් ආදරය⁣ට සීමා කොයින්ද....මායා අවංකව තම විවාහය රැකගන්න දරපු වෑයමෙන් ඇය තවමත් මේ අසම්මත සම්බන්ධය  ඉදිරියේ අන්ධ බවත් දේව් නිශ්ඵල බව දැන දැනත් තම විවාහය රැක ගැනීමට ව්‍යාජ වෑයමක් දැරූවේ ඇයිද යන වග මෙතනදී අපට වැටහේ...මන්ද දේව්ට මායාගේ පලමු හමුවීමේ සිටම හිත තුල ඔහු නොදත් යම් හැඟීමක් පීදී තිබී ඇත...


දේව් තමන් විවාහ වු අයෙක් බවත් මායාත් එසේ වනබවත් දනියි...නමුත් තමාටත් මායාටත් උරුම වී ඇත්තේ එකම දෛවයයි...ලෝකයාට අනුව සමාජයට අනුව තමන් තුල ඇතිව ඇති සිතුවිල්ල වරදක් වෙයි..නමුත් හැඟීම් කෙසේනම් සිරකර තබන්නද?...ඔහු හදවතින්ම මායාට පෙම් කරමින් මායා ගැන සිතමින් පසුවෙයි...ඔහුට ඇයව හමු වු දිනය මතකයි...ඔහු උවමනාවෙන්ම ඇය වෙනුවෙන් දුම්රිය මඟ හරියි...ඔහුගේ සිතුවිලි ස්වප්නයන් තුල සිටින්නේ ඔහුගේ බිරිඳ රියා නොව මායා වෙයි...සැමියෙක් පියෙක් වෙන ස්ත්‍රියක් වෙනුවෙන් මුළු හදවතම පුදා අවසානයි....එය කෙසේ නම් සාධාරණීකරණයට ලක් කරන්නද...


දැන් එළඹ ඇත්තේ දේව්ගේ මේ ඒකපාර්ශ්වික  අසම්මත ප්‍රේමය හමුවේ මායාගේ තීරණය ඇයගේ හෘදසාක්ෂියෙන් විමසන අවස්ථාවයි...


දේව් : මං හිතුවා කෝච්චියෙන් යන එක නවත්තන්න...මං මට අළුත් කාර් එකක් ගන්නවා...ලස්සන අළුත් නිල්පාට කාර් එකක්...ඔයා කැමතියි නිල්පාටට?...මං කැමති නිල් පාටට...


තමන් කැමති පාට ඔහු නොදනී...රියා කැමති පාට ඔහු නොදනී හෝ එය අමතක වන තරමට නොවැදගත් වී ඇත...නමුත් හදිසියේ තමන්ගේ ජීවිතයට පැමිණි මායාගේ කැමතිම පාට ඔහු දනී...ඔහුගේ අනාගත සිහිනයන් පාට කරන්නේද ඒ පාටින් වෙයි...දේව් තුල දැන් සැමියෙක් හෝ ⁣පියෙක් ජීවත් නොවෙයි...ජීවත් වෙන්නේ යොවුන් ආදරවන්තයෙක් පමණයි...මායා තවමත් දේව්ගේ ප්‍රශ්න හමුවේ අතරමං වී සිටියි...මේ නුපුරුදු ස්නේහයට ඇයගේ පිළිතුර තවමත් නිහඬතාවයයි....


අවසානයේ මායා, දේව් හා තමන්ගේ මතකයන් එකින් එක අවුස්සා තමන් සමඟම අරගල කරන්නේ මේ නුපුරුදු අනපේක්ෂිත හැඟුම් වලට අර්ථයක් හා පිළිතුරක් සෙවීම සඳහා වෙයි...අවසානයේ ඇයට මේ බැඳිමේ  අරුත කෙසේ වෙතත් දේව් ගැන අැති වු නුපුරුදු හැඟීම සැබෑවටම නුපුරුදු කුළුඳුල්  ආදරයක් බව අගවන්නේ මෙසේ වෙයි...


මායා : දේව්....මං කැමති නිල් පාටට....


.අවසානයේ සම්මතය අසම්මතය සීමා බිඳ දමා දේව් මායා තමන්⁣ගේ ආත්මීය චාරිකාව ආරම්භ කරයි...ඒ ගැන දේව් පවසන්නේ මෙසේ වෙයි...


අපි උමතුවෙන් මත් වුනා...අපි අමුතයි...අපි වෙනස්...ගොඩාක් වෙනස්...අපි තනි තනිවම අසම්පූර්ණයි...ඒත් එකතු වුනාම සම්පූර්ණයි...අපි පොළොවේ ඇවිද්දා නෙවෙයි...අපි ගොඩාක් දුර යාත්‍රා කලා...අපි අහසේ පා වුනා...වළාකුළු වලට කතා කලා...අපි⁣ මේ⁣ ලෝකය ගැන කිසිම තැකීමක් කලේ නැහැ...අපි අපේම ලෝකයක් හැදුවා...අපේ ලෝකය,දේව්ගෙයි මායාගෙයි ලෝකය....අපේ හීන ලෝකය..හීන ලෝකය..


අසම්මතය හුදෙක් හීන ලෝකයක් නැත්නම් ස්වප්නයක් පමණයි...ඒ සිහිනය දකින තුරු සුන්දරයි..නමුත් යථාර්ථයට පැමිණිය විට වේදනාකාරීයි...එ නිසා බොහෝ අසම්මතයන් තුළ තැනෙන්නේ සිහින ලෝක පමණයි...දේව් මායා ඔවුන්ගේ සිහින ලෝකයේ අසම්මත ප්‍රේමයේ සුව විදිමින් සිටින්නේ යථාර්ථයට තවමත් මුහුණ දීම ගැන නොසිතමින් වෙයි...


දේව් හා රියාගේ විවාහය මෙන්ම මායා හා රිෂිගේ විවාහය සිදු වන්නේ දේව්ට රියා දක්වන ආදරයත් මායාට රිෂි දක්වන ආදරයත් නිසා වෙයි..රියා හා රිෂි ඔවුන්ගේ විවාහය තුල අනෙකාට දක්වන ආදරය අවංක වුවත් දේව්ට හා මායාට ඒ ආදරය බිඳි ගිය හා අසම්පූර්ණ ආදරයක් පමණයි...


රියා හා රිෂි සිතන්නේ ඔවුන් දේව් හා මායා සමඟ ඇතිවු  ආරවුල සාමාන්‍යයෙන් පවුල් අතරේ සිදුවන ආරවුලක් පමණක් කියා වෙයි...සාමාන්‍යයෙක් සැමියෙක් බිරිඳක් අතර ආරවුල් ඇතිවීම ඕනම පවුලක පොදු ලක්ෂණයක් වෙයි...නමුත් දෙදෙනාට පවුල් කුටුම්බය රැකගැනීමට එකවගේ දායකත්වයක් හා උවමනාවක් දරන්නේ නම් නම් ඒ ඕනම ආරවුලක ආයුෂ කෙටි වෙයි...


මේ විවාහයන් ද්විත්වය මෙතරම් දුරක් පවතින්නේ රියා හා රිෂි ඔවුනොවුගේ විවාහය රැකගැනීමට දරණ වෑයම හා ඔවුන්ගේ ඒකපාර්ශ්වික ආදරය නිසා වෙයි...ඒ නිසාම රිෂි මායාගෙනුත් ⁣රියා දේව්ගෙනුත් ඔවු⁣න්ගේ ප්‍රේමයේ නාමයෙන් ඉඟියක් ඉල්ලන්නේ ඔවුන්ට මේ විවාහයේ ඇති වැදගත්කම නිසා වෙයි...නමුත් දැන් ඒ බිඳී ගිය අසම්පූර්ණ ආදරය තුලින් දේව් හා මායා ඔවුන්ගේ ලෝකය තනාගෙන අවසානයි...


රිෂි :මායා,මං අවුලෙන් හිටියේ...ඔයාටවත් අඩුම ගානේ වෙච්ච දේ හදන්න ඕන වුනේ නෑනේ...අනේ,අඩුම ගානේ මාව ගනන් ගන්නවා කියලා හරි පෙන්නන්න...මොනා හරි කියන්න,මොනා හරි කරන්න...ඔයා තාමත් මගේ කියලා දැනෙන විදියේ දෙයක් පෙන්නන්න....මගේ විතරක්...මායා,මට ඔයාව හුඟක් මතක් වෙනවා...


රියා : දේව්,අපි කතා කරමු...මේක දුරදිග ගියා වැඩියි...මට තවත් රංඩු වෙන්න ඕන නැහැ...ඔයාටත් එහෙම හිතෙනවා නම් පොඩි ඉඟියක් දෙන්න...එකම එක ඉඟියක්...අපි වෙච්ච දේහරි ගස්සමු...මං ඔයාට ආදරෙයි...


ඒ ඉඟිය දේව් මායා රියා හා රිෂිගේ ජීවිත වෙනස් කලේ ඔවුන් සිව්දෙනාම නොසිතු ආකාරයට වෙයි...දේව් මල් කළඹ ගෙන පැමිණියේ මායා කෙරෙහි  ඔහුගේ ආදරය සංකේතවත් වීමට මායාට ලබා දීමට වුනත් ඔවුන් අතරට රියා පැමිණෙයි..ඇය ඒ මල් කළඹ දකින්නේ තමන්ගේ ඉඟිය ලෙසයි...දේව් මල් සියල්ල රියාට ලබා දී අවසානයේ මායා වෙනුවෙන් ඉන් එක් මලක් තබා ගනියි...ඒ මල දේව් විසින් මායාට දුන් පසුව මායා ඒ මල ඇඳ උඩ තැබීමෙන් පසුව රිෂි එය අතට ගනියි....දේව්ගේ මල් කළඹම රියාට...ඉන් එක මලක් මායාට...ඒ මල දැන් අයිති රිෂිට...කරන් ජොහාර්ගේ මේ ප්‍රබල සංකේත භාවිතය කරන් ජොහොර්ගේ පමණක් නොවෙයි වාණිජ බොලිවුඩ් සිනමාවෙත් දුටු ප්‍රබල සංකේත භාවිතයක් වෙයි...


දැන් ඒ ඉඟිය නිසා රියා හා රිෂි  , දේව්ගේ හා මායාගේ අනපේක්ෂිත හා ව්‍යාජ ආදරයෙන් යළිත් මුලා වෙයි..රියා හා රිෂි  අපේක්ෂා කරන්නේ සියල්ල හොඳින් විසඳී නැවතත් දේව් රියාටත් මායා රිෂිටත් සමීප වු බවයි...දේව් මායාට ආදරය නොකලා නම් මේ පවුල් ආරවුල සැබෑවටම විසදෙනු ඇත....නමුත් මෙතන අැත්තේ ඊට වඩා සංකීර්ණ ගැටළුවක් වෙයි...රියා ළඟට යළි පැමිණි දේව් හා රිෂි ළඟට යළිත් පැමිණි මායා තව දුරටත් ඔවුනොවුන්ගේ පවුල් කුටුම්බයට අයිති අයවත් ඔවුන්ගේ ආත්මීය සහකරුවා හෝ සහකාරිය නොවෙයි...රියා හා රිෂි, ඔවුන් සැබෑවටම ව්‍යාජ ප්‍රේමයකින් මුලා වී පමණක් සිටියි...


මායා : අපේ බැඳීම හීනයක් විතරයි...අපි අපේ ගෙවල් වලට යනකොට ඒ හීනය බිඳිලා යනවා...ඒක තමයි ඇත්ත...


දේව් : මට ඒ අැත්ත පිළිගන්න බැහැ...මට ඒක දරාගන්න බැහැ...මට දරාගන්න බැහැ...ඔයා එයත් එක්ක එකට ඉන්න එක මට දරාගන්න බැහැ...ඔයා මගේ...මගේ විතරමයි....ඉතිං එයාට කොහොමද එච්චර අයිතියක් ලැබෙන්නේ...ඔයාගේ හදවත මගේ..ඔයාට එයාගේ කියලා තියෙන්නේ නම විතරයි...ඒක මට දරාගන්න බැහැ...ඔයා මගේ...


ඒ රාත්‍රියේ රිෂි හා රියා තමන්ට අහිමි වී නැවත හිමි වුන සතුට වෙනුවෙන් ජයපැන් පානය කරමින් සතුටු සාදයේ විනොද වෙද්දි දේව් තමන්ට අයිති යැයි සිතන නමුත් සම්පූර්ණ අයිතියක් නැති මායා සමඟ පියමන් කරන්නේ ඇයගේ සම්පූර්ණ අයිතිය තමන් සතු කරගැනීමටයි...මේ වනවිට මායාගේ මුළු ආත්මයම තමන් සතු කරගෙන සිටින දේව් ඇයව තම උණුහුමෙන් දවාලන්න සුදානම් වෙද්දි අැය ඇයගේ සියොළඟම ඔහුගේ උණුහුමින් දවාලන්න ඔහු ළඟ පුදා අවසානයි...


කලිනු කියු පරිදිම ආදරයක් අැති තැන රාගයක්ද  පවතී...රංගයෙන් තොර ආදරයක් නොපවතී...මායා බලා සිටි ⁣ආදරය ඇය වෙත ළඟා වී අවසානයි...වෙනසකට අැත්තේ මේ ප්‍රේමය අසම්මතයි...මේ  ප්‍රේමය අවිනිශ්චිතයි....මේ ප්‍රේමයේ ගිනිනෙන් පවුල් කුටුම්බයන් දෙකක් දැවී අළු වන්නට නියමිතයි...එසේ දැවෙන ගින්නක පලමු ගිනි පුපුර දේව් මවගේ උපන්දින සාද⁣ය තුල තබන්නේ එය විහිළුවක් ලෙස හැගවා වුවද සමර්ජිත්ගේ ඉවට එය අසුවී අවසානයි...


අවසානයේ මායා හා දේව්ගේ සිහින ලොව සමර් හා කමල් ඉදිරියේ නිරාවරණය වෙද්දි දේව් හා මායා තනාගත් ලෝකය විනාශ වීමේ පලමු සලකුණු පෙන්වමින් සමර්ජිත් සිය ජීවන ගමනේ අවසානය අභිමුඛව හිද මායාව මෙසේ අමතයි...


සමර්ජිත් : මං තාත්තා කෙනෙක් දුවේ...දඩුවම් කරන්නේ නැහැ...අවවාද දෙනවා විතරයි....රිෂිව අත්හරින්න...ඔයා එයාට ආදරය කරන්නේ නැහැ...මේ විදියට ඔයා එයත් එක්ක ඉන්න එකෙන් ඔයා එයාව අැත්ත ආදරයෙන් ඈත් කරනවා...ඔයත් එහෙමයි...මේ අසම්පූර්ණ බැඳීම කාටවත් සතුටක් ගේන්නේ නැහැ..


සමර්ජිත්ගේ පැත්තෙන් මායා කරන්නේ විශාල වරදක්...ඇය තම පුතාට ද්‍රෝහිකමක් සිදු කරයි...ඇය තමන්ගේ පවුලේ නම්බුව විනාස කරයි.. නමුත් සමර්ජිත් යනු සමාජය ගැන,බැඳීම් ගැන අවබෝධයක් අැති විවෘත මනසකින් ලෝකය දෙස බලන පරිණත අයෙක් වෙයි..ඔහු මායාට චෝදනා කරනවාට වඩා  අවවාද කරනවාට වඩා ඇයට විසදුමක් යෝජනා කරන්නේ ඇයගෙත් රිෂිගෙත් ආනාගතය වෙනුවෙන් වෙයි...ආදරයක් නැති බැදීමක වේදනාවක් පමණක් ඉතුරු වේ යැයි ඔහු ඇයට වටහා දෙයි....


සමර්ජිත් : වැරැද්ද ඔයාගේ නෙවෙයි මායා...ආදරය වගේම මරණය දෙකම එන්නේ ආරාධනාවක් නැතුවමයි...කාටවත් ඒවා පාලනය කරන්න බැහැ...


ආදරය හා මරණය...එක් පැත්තකින් ජීවිතයක අවසානයත් අනෙක් පැත්තෙන් ජීවිතයක අාරම්භයත් ගෙන පැමිණෙයි....නමුත් මේ දෙකම ජීවිතයකට පැමිණෙන්නේ අනාරාධිතව වෙයි...ඒ දෙකම පාලනය කල හැකි නම් ආදරය හා මරණය පුරාවෘත වනවා නිසැකයි.....ඉතිං අනාරාධිතව පැමිණෙන පාලනය කල නොහැකි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?...


සමර්ජිත් තමන් වෙත අනාරාධිතව පැමිණි මරණය හමුවේ ජීවිත ගමන අවසන් කරයි...ඔහුගේ නික්ම යාම මායාට තමන්ගේ අසම්මතයෙන් මිදී රිෂි වෙත යාමට හේතු සපයයි...නමුත් දේව්ට නැවත රියා වෙත යාමට හේතුවක් තිබේද?...

චිත්‍රපටය පමණක් බැලු ඔබට ඊට පිළිතුරක් හමු නොවෙනු ඇත...ඔබ චිත්‍රපටයේ ඉවත් කල දර්ශන අන්තර්ජාලයේ සොයා බැලුවා නම් දේව්ටත් මේ අසම්මතය නිමා කිරීමට හේතුවු කරුණ ඔබට බලාගැනීමට පුළුවන් වෙයි...


කෙසේ හෝ මේ අසම්මත බැඳීම අවසන් කල යුතු බව ඔවුන් දෙදෙනා වටහාගෙන අවසන්..


දේව් : අපි දැනගෙන හිටියා මේ තමයි අපේ ගමනේ අවසානය කියලා...මේ තමයි අපේ ආදර කතාවේ අවසාන සුසුම් කිහිපය...අපිට සිද්ධ වුනා අපේ මතකයන් එකතු කරගෙන අපේ පරණ බැඳීම් එක්ක ජීවත් වෙන්න...ආපහු ගෙදර යන්න කාලය ඇවිල්ලා...රිෂිටයි රියාටයි ඇත්ත කියන්න කාලය ඇවිල්ලා...මොකද සතුට කියන දේ , බොරුවත්  එකක ඇති වෙන දෙයක් නෙවෙයි...ඉතිං ඒක ගැන අපිට වඩා වෙන කවුද දන්නේ?...


ආදරය නම් පුදුමාකාරයි...බහුතරයක් මිනිසුන් ආදරය කියා රාගික බැඳීම් වල රැව⁣ටීමට හසුව ඒ ආදරය විවාහයෙන් කෙළවර කරයි...පසුව ජීවිත කාලයේම ඒ බැදීමට අරුතක් සොයා මුලාවෙන් ගෙවන ජීවිත අවසානයේ කදුළකින් නිමා වෙයි...දේව් මායා කතාව ඊට වඩා වෙනස් වෙන්නේ ඔවුන් තමන්ට විවෘත වු නිසාවෙනි...ඔවුන් දෙදෙනා තමන්ගේ හැඟීම් වලට බැඳීම් වලට අවංක වූවෝය..තමන්ගේ අසම්මතය ආදරය තව කෙනෙකුගේ වේදනා කදුළු මතින් ගොඩනගනන්න ඔවුන්ට අවැසි නොවූහ....


දැන් ඒ අසම්මතය අවසානයේ දේව් හා මායා උත්සහ කරන්නේ සියල්ල නිවැරදි කිරීමට වෙයි...නමුත් රියාට හා රිෂිට ඇත්ත පැවසිය යුතු බව ඔවුන් සිතයි...ඔවුන් දෙදෙනාම බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ විවාහය නැවත අළුත් පරිච්ඡේදයකින් ආරම්භ කිරීමට වෙයි.නමුත් රියා හා රිෂි ඊට සුදානම්ද?...


රියා : ඔයා කරපු දේ මං කලා නම් ඔයාගෙන් මට සමාවක් තියෙයිද?..ඔයා සමාව දෙන එකක් නැහැ දේව්...ඔයා කවදාවත් මට සමාව දෙන්නේ නැහැ...


රියා : ඔයාට මේ ගෙදරින් යන්න වෙනවා...මේ කසාදය ඉවරයි...


රියාගේ සිදුකලේ සරල ප්‍රශ්නයකින්ම පිළිතුර ලබා දීමයි...විවාහයක් තුල පිරිමියාට සියල්ල කැප වීමත් ගැහැණියට සියල්ල අකැප වීමටත් හේතුවක් නැතත් සමාජය එදා සිට එතනට ගැහැණියව තල්ලු කර හමාරයි...ඒ නිසා බහුතරයක් පවුල් කුටුම්බයන්හි පිරිමියා අනියම් සම්බන්ධතාවයක පැටලෙද්දි ගැහැණිය බලා සිටීමත් ගැහැණිය පැටලෙද්දි පිරිමියා විසින් දඩුවම් කිරීමත් සිදු වීම වර්තමාන සමාජයේ පවා බොහෝ නිදසුන් සපයනු ඇති...ඒ නිසාම රියාගේ ප්‍රශ්නයට දේව්ගෙන් පිළිතුරක් නොමැත...ඒ නිසාම මායාට සමාවක් බලාපොරොත්තු විය හැකි වෙයිද?...


රිෂි : මං හැමදාම උදේ ඇහැරෙන්නේ ඔයාගේ ඇස් දෙකෙන් මගේ මූණ දකින්න බලාගෙන..ඒත් දැන් මට පේන්නේ එයාව විතරයි...එතකොට මට හුස්ම ගන්නත් අමාරුයි...


මායා : එ්ත් දැන් ඒ සම්බන්ධය ඉවරයි රිෂි...


රිෂි : මේ සම්බන්ධයත් ඉවරයි මායා...


එසේ මායාටත් දේව්ටත් එකම ඉරණමට මුහුණ දීමට සිදු වූයේ අසම්පූර්ණ හා බිඳී ගිය ආදරයේ පාදම මත ඉදි කර තිබු විවාහයද එතැනින් නිමා කරමින්ද වෙයි...


දේව් : සමුගනීම  (Alvida)..අපේ හැම සම්බන්ධයක්ම අරුත් ගැන්නුවේ  මේ තනි වචනයයි...අපි දෙන්නම අපේ ගෙවල් දාලා ආවා...ඒත් අපි දෙන්නාට දෙන්නා ඒ ගැන කිව්වෙවත් නැහැ...අපි ආපහු හම්බවෙයි කියලා බලාපොරොත්තුවක් මට නැහැ...හරියට මැරෙන්න කලින් නිහඬ මියයාමක් වගේ...


දේව් තමන්ගේ නිවසිනුත් මායා තමන්ගේ නිවසිනුත් පිට වෙන්නේ තව දුරටත් ඔවුන්ගේ පවුල් කුටුම්බයන්ගෙන්ද ඔවුන් දෙදෙනා ඉවත් වෙමින් වෙයි...නමුත් මායා දේව්ට ඒ ගැන නොපවසන්නේ දේව් රියා සමඟ සමගියෙන් ජීවත් වන ඉව සිතමින් වෙයි...දේව්ද ඒ ගැන නොපවසන්නේ මායා රිෂි සමඟ සමාදානයෙන් සතුටුටෙන් ජිවත් වන බව සිතමින් වෙයි...දෙව් හා මායා අතර අැති වු බැදීම හුදෙක් විවාහයෙන් පසුව ගැහැණියක හා පිරි⁣මියෙක් අතර සාමාන්‍ය රාගික බැඳීමක් පමණක් නම් දෙදෙනා මෙසේ අනෙකා ගැන කුමකට සිතනනද?...එසේ රාගික සිතුවිල්ලෙන් තම පවුල් කුටුම්බයන් විහින් විනාශ කරගන්නා අසම්මතයින් අතර දේව් හා මායාගේ වෙන පෙන්වන්නේ මෙතනින් වෙයි...


දේව් හක පසෙකත් මායා තව පසෙකත් හිඳ අතීතය ගැන තැවෙමින් තනියම කල් ගෙවද්දි ඔවුන් දෙදෙනාට ශක්තියක් වන එකම දේ අනෙකාගේ සතුට වෙයි...මේ ඔවුන්ගේ ආදරයේ පරිණතභාවයයි...යොවුන් ආදරයක සිට තරුණ අවධිය පසුකර ඔවුන්ගේ ආදරය අනෙකා වෙනුවෙන් කැපකිරීම් කරන තැනට පරිණත වී හමාරයි...ආදරය නම් හිමි වීමම නොවේ...අනෙකාගේ සතුට වෙනුවෙන් දුරින් හිඳ බලා සිටීමත් බව දෙදෙනා අවබෝධ කරගෙන ඇත...මෙය එක් අතකින් ඔවුන් දෙදෙනාගේ අසම්මතයට ලැබුණ දඩුවමක්ද වෙයි...


ඍතු ගෙවී යයි...ලෝකය වෙනස් වෙයි...රියා තමන්ගේ ජීවිතයේ හා වෘත්තියේ ඉදිරියටම යයි...රිෂි තමන් බලාපොරොත්තු වු ආදරයකින් ජීවිතය ඉදිරියට යන්නට සුදානම් වෙයි...නමුත් දේව් හා මායා දෙතැනක හිඳ ඔවුන් දෙදෙනාගේ අසම්මතයට ලැබුණ දඩුවම හෝ ඔවුන්ගේ ආත්ම පරික්ෂාවට මුහුණ දෙමින් සිටියි...


මේ අතර තමන්ගේ පවුල් කුටුම්බය විනාශ කර විශ්වාසය බිඳ දමා වෙන කෙනෙක්ගේ ආදරයක් පහසක් ලැබු වරදකට කෙනෙක්ට දිය හැකි වන දඩුවම කුමක්ද?....රිෂි මායාටත් රියා දේව්ටත් දෙන දඩුවම කුමක්ද?...මේ රිෂි විසින් මායා හමුවී පවසන දෙයයි...


රිෂි : මට ඔයා ඇරෙන්න වෙන කවුරුත් නැහැ...ඔයා තමයි මගේ පවුල...ඉස්සරත් එහෙමයි...ඉස්සරහටත් එහෙමමයි...


දේව් රටෙන් පිටත් වීමට පෙර රියා හමුවීමට පැමිණෙයි...එතනදි සිදුවන අවසන් සංවාදය මෙසේ වෙයි...


දේව් : මට ඔයාගෙන් සමාව ඉල්ලන්න තියෙන අයිතිය මං නැති කරගත්තා...එ්ත් ඔයාට සුභ පතන්න තියෙන අයිතිය මම නැති කරගන්නේ නැහැ...හොඳින් ඉන්න...


රියා : ඔයත් කල්පනාවෙන් ඉන්න...


රිෂි හා රියා අවසානයේ අවබෝධ කරගත්තේ විවාය තුල ආදරයක් නැති නම් ඒ විවාහයේ අර්ථයක්ද නැති වගයි....බැඳීම් ඇති වෙන්නේ හදවතින් මිස ශරීරයෙන් නොවන වගත් විවාහය යනු ආදරය නම් පාදමේ ඉදිවන පවුරක් බවත් ඔවුන්ගේ ඒ පවුර විනාශ වී හමාර බවත් රියා හා රිෂි දෙදෙනාම අවබෝධ කරගෙන අවසානයි...අවසානයේ රිෂි හා රියා විසින් දෛවයේ සරදමට හසුව ⁣සදාකාලිකවම වෙන් වෙන්නට ගිය ආත්මීය බැඳීමක් පතාගෙන ආ  පෙම්වතුන් යුවල වු දේව් හා මායාව එකතු කරන්නේ ඔවුන්ගේ ආශිර්වාදයත් සමඟයි.....


රියා : ඔයා දැන් ඉක්මනට නොගියොත් ඔයාගේ ආදරය තව ඔයාගෙන් ඈතට යයි...


රිෂි : යන්න මායා යන්න...ගිහිං ඔයාගේ ආදරේ අයිති කරගන්න...තව පරක්කු නොවී යන්න...


අවසානයේ රියාගෙන් දේව්ටත් රිෂිගෙන් මායාටත් මෙන්ම රියා මායාටත් සමාව දෙන්නේ අවසානයේ දේව්ගේ හා මායාගේ දෛවය හිමිකරදුන් දඩුවමද අවසන් කරමින් වෙයි...මේ සියල්ල වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය නිසා හිමි වු සතුටුදායක අවසානයක් වෙයි...සිය දඩුවම අවසානයේ මායා දේව් සොයාගෙන යයි...අවසානයේ මායා ඉදිරියේදී පලමු වරට දේව් නම් රෝමාන්තිකයාගේ සංක්‍රමණය මෙසේ සිදු වෙයි...


දේව් : සතුට සහ දුක දෙන්නාම බෙදාගන්නවා...මට ඕන මගේ දඩුවම ඔයත් එක්ක බෙදාගන්න...මගේ ජීවිතය ඔයත් එක්ක ජීවත් වුනා කියලා සම්පූර්ණ වෙන එකක් නැතිවෙයි...ඒත් අඩුම ගානේ එතන ජීවිතයක් හරි තියේවි...මේ අසම්පූර්ණ ජීවිතය මාත් එක්ක ඔයා බෙදාගන්නවාද මායා?...


ඒ දේව් හා මායා මුළු ආත්මය පුරාම පෙරුම් පිරු අවස්ථාව බව නොඅනුමානයි...මේ අවසානය ගැන දේව් අවසන් වචන කිහිපය තබන්නේ මෙසේ වෙයි...


දේව් : කියමනක් තියෙනවා විවාහයේ පදනම වෙන්න ඕන ආදරය කියලා...වෙන මුකුත් නෙවෙයි...මොකද ආදරයක් නැත්නම් විවාහය කෙළවර වෙනවා...හරියට අපිට වුනා වගේ...අවුරුදු ගානකට පස්සේ අපිට සතුට හම්බවුනා...ආදරය හම්බවුනා...ඒත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ගමනාන්තයට ආපු ගමන බිඳී ගිය හදවත් මතින් නිමා නොවුනා නම් හොඳයි කියලා....


ඔවුන්ගේ ආත්මීය චාරිකාවේ ඇරඹුම සිදු වුනේ නියමිත කාලයේදි නම් නොවේ...ඒ ඇරඹුම නිසාම දුක වේදනාව ඔවුන්ට පමණක් නොව තව අයටද උරුම විය...නමුත් මෙයය ප්‍රේමය...කවදා කොතැන කෙසේ හමුවේවිද නොදන්නා ප්‍රේමය මෙයයි....


විවාහය නම් ප්‍රේමය නම් ආත්මිය චාරිකාවේ එක් කඩයිමක් පමණමයි.. විවාහය තුල ආදරය හොයනවා වෙනුවට ආදරය තුල විවාහය හමු වේ නම් ඒ විවාහය නෛතික බැදීමක් නොව ආත්මීය බැඳීමක්ම වනු ඇත...විවාහය තුල ගැටළු ආරවුල් මතභේද හුදෙක් සාමාන්‍ය දේවල් පමණක්ම වන අතර වැදගත් වෙන්නේ එකි නෙකා අතර විශ්වාසය හා අවබෝධය වෙයි...විශ්වාසය,අවබෝධය හා  ආදරය බිදී ගිය විවාහයක පැවැත්මක් අර්ථයක් ගැන සිතිය නොහැකි වෙයි...ජීවිතේ ඇත්තේ හමුවීම් සහ පරිපූර්ණ වෙන්වීම් පමණයි.. වෙන්වීමක් අසම්පූර්ණයි නම්,සමුගන්නා  බව කිසිදා නොපවසන්න...මේ කරන් ජොහාර්ගේ Kabhi Alvida Naa Kehena චිත්‍රපටය පවසන දේ වෙයි....


-----------------------------------------------------------------------------------------------------------------------------


පසු විවරණය


කරන් ජොහාර්ගේ මේ චිත්‍රපටයේ කතා තේමාව කරන් මීට පසුව අධ්‍යක්ෂණය කල මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයේ කතා තේමාවටත් වඩා ප්‍රබල  බව කිව හැකි වෙයි...යුරෝපය ප්‍රමුඛ බටහිර සමාජය තුල විවාහය නම් විවෘත බැඳීමක් වන අතර දික්කසාදය ඒ සමාජයන් තුල සාමාන්‍ය දෙයක් වෙයි...එකිනෙකා අතර අවබෝධය හා විශ්වාසයෙන් තොර වු ද එකිනෙකා කොරෙහි ආදරයක් නැති විවාහයක් හුදෙක් නෛතික බැඳීමක් පමණක් බව කියවෙන මේ චිත්‍රපටය ඉන්දියාව ප්‍රමුඛ ආසියාතික රටවලට ගැලපෙන ලෙස මානුෂීයව හා ප්‍රේමණීයව බැඳීම් අතර සංකීර්ණ බව පෙන්වමින් නිර්මාණය කිරීම නිර්මාණකරුවාගේ සුවිශේෂීතාවයක් වෙයි...


සම්මතය යැයි සමාජය විසින් ගොඩනැඟාගත් රාමුවකට කොටු වු  බහුතරයක් ⁣තම හැඟීම් තුල තෙරපෙමින් වේදනා විඳින්නේ ඇතැම් විට අසම්මතය සමාජ සම්මතය නොවීමේ ඵලවිපාකය නිසාවෙනි...බොලිවුඩයේ වාණිජ සිනමාවේ සුපුරුදු  රාමුවෙන් පිටත වු මෙැවැනි මාතෘකාවක් 2007 වසරේ කරන් විසින් ගෙන ආවත් එදාට වඩා මේ චිත්‍රපටය කාලෝචිත වන්නේ අද සමාජයට වෙයි...ඒ නිසා එදාට වඩා මේ චිත්‍රපටය අද ඔබට බොහෝ දේ වටහා දෙනු ඇත...


චිත්‍රපටයේ කතාව හා තිරරචනය කරන් ජොහාර් හා ශිභානි භතීජා විසින් සිදුකර ඇති අතර දෙබස් රචනය සිදුකර ඇත්තේ කල් හෝ නාහෝ ,ඒ දිල් හේ් මුෂ්කිල් චිත්‍රපට වලත් දෙබස් රචනය සිදු කල Niranjan Iyengar විසින් වෙයි....මේ චිත්‍රපටයේ තිරපිටපත ඇකඩමි සම්මාන උළෙල පවත්වන Acadamy of Motion Picture Arts & Science ආයතනයේ පිටපත් එකතුවටද අැතුලත් කරගෙන තිබීම සුවිශේෂී කරුණක් වෙයි...


චිත්‍රපටයේ අනෙක් කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණය චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆිකරණයයි...මේ චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆිකරණය සිදු කර ඇත්තේ අනිල් මෙහෙතා විසින් වන අතර චිත්‍රපටයේ Tumhi Dekho Naa ගීතයේ වර්ණ සංයෝජනය සැබෑවටම චිත්‍රපටයට එක් කර ඇති අපූරත්වය සුවිශේෂී වෙයි...ගීතයේ නිල්,කහ,තැඹිලි,දම්,කොළ සහ රතු වර්ණයන්ගෙන් මවන රූපරාමු වලට Shankar - Ehsann- Loy සංයෝගයේ සංගීතයට සෝනු නිගම් අල්කා යාග්නික්ගේ මියුරු ගායනය සපයන ජීවය ⁣මේ ගීතය තවමත් දශකයකට වඩා වැඩි කාලයක් ජනප්‍රියම ගීතයක් වීමට හේතුව වෙයි...


එමෙන්ම මේ චිත්‍රපටයේ දේව්ගේ චරිතයට රංගනයෙන් දායක වු බොලිවුඩයේ ජනප්‍රිය නළු ෂාරුක් ඛාන්ගේ රංගනය ඔහුගේ රසිකයන් තරමක් කනස්සල්ලට පත් කරන්න හේතු වූයේ ඔහු සුපුරුදු පෙම්වතාගේ චරිතය වෙනු⁣වට සුදු කළු මිශ්‍ර අළු චරිතයකට රංගනයෙන් දායක වීමයි...නමුත් මේ චරිතය ෂාරුක්ගේ රංගන දිවියේ සුවිශේෂී චරිත අතරට එකතු වන්නේද මෙය ඔහුගේ රසිකයන් වුවද අකමැත්තෙන් වුවත් ආදරයෙන් වැළඳගත් චරිතයක්  වන නිසාමයි...


අවසාන වශයෙන් නැවත පවසන්නේ මේ චිත්‍රපටයේ අර්ථය විවාහය තුල අසම්මතය සුදුසුය යන බව නොවේ....විවාහය යනු ආදරය නම් ආත්මීය චාරිකාවේ එක් කඩඉමක් පමණක් වන බවත් අවබෝධය හා විශ්වාසය මතින් ඒ කඩයිම එක්ව තරණය කිරීමට නොහැකි වන තැන විවාහය යනු හුදෙක් දෙදෙනෙක් අතර නෛතික බැඳීමක්ම පමණක් වන බවයි....


                                   සමුගනිමි,නැවත හමුවන තුරා
                                      - අනුෂ්ක රසාංජන ද සිල්වා-

                               


                            

Comments

Popular Posts