Mank චිත්‍රපටයේ මිසොන් සේන් භාවිතය




මෙවර ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපටය,හොඳම පිටපත හා හොඳම අධ්‍යක්ෂණයට පසුව හොදම සිනමැටෝග්‍රැෆිකරණය ගැනද කතා ⁣නොකලහොත් එය අඩුපාඩුවක් ලෙස දකින නිසාත් පෞද්ගලිකව චිත්‍රපටයක සිනමැටෝග්‍රැෆිකරණය කෙරෙහි දක්වන ඇල්ම නිසාත් මේ සටහන ගෙන ඒමට තීරණය කළෙමි..


මෙවර 93 වන ඔස්කාර්ස් සම්මාන උළලේ Best Cinematography හෙවත් හොඳම සිනමැටෝග්‍රැෆිකරණය සඳහා වන සම්මානය මෙන්ම Best Production Design හෙවත්  හොඳම නිෂ්පාදන සැලසුම්කරණය සඳහා වන සම්මාන ද්විත්වය දිනාගනු ලබන Mank චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහාද නිර්දේශ වු චිත්‍රපටයක් වෙයි...Fight club,Social Network,Gone Girl,Seven,Zodiac වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂක වු David Fincher ගේ අධ්‍යක්ෂණයෙන් හා ඇකඩමි සම්මානලාභි නළු Gary Oldman ගේ රංගනයෙන් හැඩ වු Mank යනු 1941 දී ඇකඩමි සම්මාන 9කට නිර්දේශ වී හොඳම පිටපත වෙනුවෙන් සම්මාන දිනු Citizen kane නම් විශිෂ්ඨ චිත්‍රපටයේ තිරරචකයා වූ Herman J.Mankiewicz එහි තිරරචනය සිදුකරන අාකාරය හා ඒ කාලවකවානුව අළලා නිර්මාණය වූ විශිෂ්ඨ චිත්‍රපටයක් වෙයි...


Mank යනු කළු සුදු වර්ණ චිත්‍රපටයක් ලෙස තිරගත කල චිත්‍රපටයක් වෙයි..එනම් චිත්‍රපටය පසු නිෂ්පාදනයේදි කළු සුදු චිත්‍රපටයක් ලෙස පරිවර්තනය කිරීම වෙනුවට RED ඩිජිටල් කැමරාවක් හරහා කළු සුදු වර්ණයෙන්ම රූගත කිරීම් සිදු කල චිත්‍රපටයක් වෙයි...මිසොන් සේ්න් ශිල්පක්‍රමය භාවිතය ගැන අවධානය යොමු කිරීමේදි එහි අඩංගු වන,ඒ යටතේ සලකා බලන  මිසොන් සේන් අංගයන් මනාව හසුරුවා ඇති චිත්‍රපටයක් ලෙස මැන්ක් චිත්‍රපටය සැලකිය හැකි වුනත් මිසොන් සේන් වැදගත් අංගයක් වන වර්ණ භාවිතය චිත්‍රපටයේ කෙසේද භාවිතා වුනේ..ඇත්තටම කළු සිදු චිත්‍රපටයක වර්ණ භාවිතය සිදුකරන්නේ කෙසේද?..ඒ ගැන සැලකිල්මත් විය යුතුද?..ඒ ගැන අවධානය යොමු කිරීමට පෙර තවත්  වැදගත්ම මිසොන් සේ්න් අංගයක් වන ආලෝකකරණ ගැන අවධානය යොමු කරමු...


චිත්‍රපටයේ පසුතලය සහ දර්ශන තලය අපව සැබෑම 50,60 දශයේ චිත්‍රපට කරා කැදවාගෙන යනු ලබයි...ඊට ආලෝකකරණය හරහාද ලබා දෙන ජීවය කතාවට පාදක සිදුවීම් ප්‍රතිනිර්මාණය වඩාත් සාර්ථක කරගෙන අති ආකාරය දැකිය හැකි වෙයි.. චිත්‍රපටයේ වඩාත් දර්ශනීයම සිද්ධිය ලෙස මැන්ක් හා ඩේවිස් සමඟ ඇවිද යන උද්‍යානයේ දර්ශනය සැලකුවොත් ඒ කොටස සඳහා Day for Night ශිල්පීය ක්‍රමයයොදාගෙන අැති බව සඳහන් වනවා..(එනම් දහවල් කාලයේ රූගත කිරීම් සිදුකලද රාත්‍රි කාලයේ ලෙස පෙන්වමින් සිදු කිරීම.)..කළු සුදු චිත්‍රපට වල ආලෝකකරණය හරහා  චරිත වල භාවමය නිරූපණයන් විශිෂ්ඨ ලෙස සිදු කල හිච්කොක්ගේ චිත්‍රපට වල ලාක්ෂණීය ගුණය මැන්ක් හරහා සිහි කැන්දවයි...එය මා නම් අත්වින්දේ මැන්ක්ගේ චරිතය නිරෑපණය කල ගැරීට වඩා ඩේවිස්ගෙ චරිතය නිරූපණය කල ඇමැන්ඩාගේ රංගනයෙන් වෙයි...එමෙන්ම පසුතලය හා මුසු වු ආලෝකය චිත්‍රපටය පුරාමු විශිෂ්ඨ ඒ සම්මානනීය  සිනමැටෝග්‍රැෆිකරණයක ලක්ෂණ පෙන්වයි....


චිත්‍රපටයේ අනෙක් වැදගත් මිසොන් සේන් ගුණාංගයක් වන රූපරාමුවක චරිත වල හැසිරීම හා රංගනය ගැන කතාලකල යුතු නැත්තේ චිත්‍රපටය පුරා ගැරී ඕල්ඩ්මන් සුපුරුදු රංගන කෞෂල්‍යය මනාව පෙන්වීම හා ඊට සෙසු චරිත වලට රංගනයෙන් දායක වු රංගන ශිල්පීන්ගේ දායකත්වය අධ්‍යක්ෂක විසින් මනාව හසුරවා ඇති ආකාරය නිසා වෙයි...චරිත ප්‍රතිනිර්මාණයේ සාර්ථකත්වය පවතින්නේ රංගන ශිල්පීන් චරිත සඳහා කරන සාධාරණය මතයි...එකී සාධාරණය සිදු වූ බව කීමට තරම් චිත්‍රපටයේ චරිත ගැන අත්දැකීමක් නැති නිසා රංගනය සාර්ථක යැයි පමණක් පැවසීම ප්‍රමාණවත් යැයි සිතමි...


මීළඟට රූපරාමු සැකසීම හා කැමරාකරණය ගැන විමසා බැලුවොත් චිත්‍රපටය පුරාම අපූර්ව රූපරාමු සංයෝජනයන් දැක ගතහැකි වෙයි....එමෙන්ම චරිත වල හැඟීම් පෙන්වීමට සුදුසුම Close up shot වල සිට Establishing Shot දක්වා විශාල පරාසයක කැමරා දර්ශන ඛණ්ඩ යොදා ගැනීම පමණක් නොව එකී දර්ශන ඛණ්ඩ වල විශිෂ්ඨත්වය නම් Establishing shot වලදී Foreground,Middleground හා Background තුනම මනාව සංයෝජනය කර තිබීමයි...ඊට හොඳම උදාහරණය මැන්ක් පිටපත සකස් කිරීමෙන් පසුව ඔහු හමුවීමට ජෝසප් වාහනයෙන් පැමිණෙන අවස්ථාව මෙන්ම  චාල්ස්ගේ පැමිණීමත් වෙයි...


මීළඟට කලින් සඳහන් කල වරණ භාවිතය...කළු සුදු චිත්‍රපට වල වර්ණ භාවිතය සැලකිය යුතු තරම් වැදගත් දෙයක්ද?..වර්ණ භාවිතය කළු සුදු චිත්‍රපටයකට අදාල වන්නේ කෙසේද?...කළු සුදු චිත්‍රපටයක එකී මිසොන් සේන් ගුණාංගය හා  තවත් මිසොන් සේන් ගුණාංගයක් පවති..එසේ බැඳී පවතින අනෙක් ගුණාංගය නම් වස්ත්‍රාභරණ වේ...කළු සුදු චිත්‍රපට වලදී විශේෂයෙන්ම මැන්ක් චිත්‍රපටය වැනි කළු සුදු වර්ණයෙන් චිත්‍රපට රූගත කිරිමේදී ඇදුම් වල වර්ණයන් ගැන සැලකිලිමත් විය යුතු වෙයි...වඩාත් තද වර්ණයන්ගෙන් තොරව ලා පැහැති දීප්තිමත් වර්ණ ඇදුම් සඳහා යොදා ගැනීමෙන් චිත්‍රපටයේ වස්ත්‍රාභරණ වඩාත් හොඳින් කැපී පෙනෙන ලෙස පෙන්වීමට හැකි වනු ඇත...මැන්ක් චිත්‍රපටයේ ඇදුම් නිර්මාණශිල්පීන් විසින් iphones හරහා Noir සහ Monochromatic ෆිල්ටර් හරහා ඇදුම් කළු සුදු මාධ්‍යයේදි පෙන්වන්නේ කෙසේද කියා පූර්ව නිරීක්ෂණයක් හා අධ්‍යනයක් සිදුකිරීමෙන් පසුව ඇදුම් නිර්මාණය සිදු කර ඇත.ඇදුම් සඳහා පමණක් නොව රංග භාණ්ඩ එනම් Props අදුරු  පැහැයෙන් තොරව රූපරාමුවේ ඉස්මතු කිරීමට නම් ලා වර්ණයන් එනම් වර්ණ තෝරාගැනීමේදී Saturation හා වර්ණ වල Value පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙයි....


මීළඟට අවදානය යොමු කරන්නේ Blocking and Staging හෙවත් රංගභුමි සැකැස්ම පිළිබඳවයි...චරිත කිහිපයක් හසුරවන අවස්ථා කිහිපයක් චිත්‍රපටය තුල තිබුණ අතර ඒ එක් එක් අවස්ථාවලදි අදාල රූපරාමුව තුල චරිත වෙන වෙනම මනාව හසුරා ඇති අකාරය දැක ගැනීමට හැකි වෙයි...එමෙන්ම චරිත වල ස්භාවය අනුව චරිත ස්ථානගත කිරීමද එකී චරිත කිහිපයක් හසුරවාලීමේදි සිදුකර ඇති ආකාරය දැක ගත හැකි වේ...විලියම් රැන්ඩල්ෆ් චරිතය හසුරවන අවස්ථාවලදී ඔහුගේ ⁣ගාම්භීරත්වය ගරුත්වය හා දැඩි  බව  පෙන්වීම සඳහා ඔහු වෙනුවෙන් රංගභාණ්ඩ හා පසුතලයේ දැල්වෙන ගිනිදැලි ආකාරයේ සංකේත ආදියද යොදාගෙන අති ආකාරය දැකගත හැකි වෙයි..ප්‍රධාන චරිතය ව මැන්ක් චරිතය හසුරුවාලීමේ එසේ සුවිශේෂිතාවයක් දක්නට නොලැබුණත් නැවත නැවත බැලීමේදි මැන්ක් සමඟ ආලෝකය හැසිරවීමේ යම්  සුවිශේෂිතාවයක් ඇති බව ඇතැම් අවස්ථා අනුව කැපී පෙනෙයි...


අවසාන වශයෙන් මිසොන් සේන් හි තවත් ගුණාංගයක් වන ශබ්දකරණය හා සංගීතය...චිත්‍රපටයේ තේමාවට උචිත වන ආකාරයටම පසුබිම් සංගීතය  විශිෂ්ඨ මට්ටමක තිබුණු බව කිව යුතුමයි..චිත්‍රපටය වෙනුවෙන් සංගීත ඛණ්ඩ 52ක් පැයයි විනාඩි 30ක කාලයක් චිත්‍රපටය වෙනුවෙන් සංයෝජනය කර ඇති අතර සඳහන් වන ආකාරයට සංගීත සංයෝජනය සිදු කල Trent Raznor හා Atticus Ross දෙදෙනා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංගීත කණ්ඩ සියල්ල නිවසේ සිට සිදු කර ඇත...


මෙසේ විමසා බැලීමකට ලක් කලේ Mank චිත්‍රපටයේ මිසොන් සේන් ශිල්පක්‍රමයේ හැසිරවීම පිළිබඳවයි...රූපය නම් ඇසට දකින දෙයයි..එසේ ඇසට දකින දේ කලාවක් වෙන්නේ බලන ආකාරය හා හසුරවන ආකාරය අනුවයි....එසේ දකින දේකට අරුතක් එකතු කරන රූපරාමු වලින් පරිපූර්ණ චිත්‍රපටයක් යනු නැරඹීමට මෙන්ම අධ්‍යනයටද සුදුසු විශිෂ්ඨ චිත්‍රපටයක් වනවා...Mank යනු එසේ බිහිවු විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස හදුන්වා දිය හැකි වෙයි...


                                                                                                               -අනුෂ්ක රසාංජන ද සිල්වා-











Comments

Popular Posts