The Reader (2008)

 කියවන්නා හා අසන්නා ගැන නැරඹු කතාව





"හිතන්න ඔයාගේ ජීවිතය පොතක් කියලා...ඔයාගේ හැම දවසක්ම ඒ පොතේ පිටු කියලත් හැම පරිච්ඡේදයක්ම ඔයාගේ වයස කියලාත් හිතන්න...ගොඩාක් අය කැමති ඒක පිටු ගොඩක පොතක් වෙනවා දකින්න...ඒත් කිහිපදෙනෙක් උත්සහ කරනවා ඒක උනන්දුවෙන් කියවන්න පුළුවන් පොතක් කරන්න ..දැනට ඔයාගේ පොතේ අවසානයේ මං අහන්න කැමති ඔයාගෙන් ප්‍රශ්නයක් ,"ඔයා ඒ පොත අරන් කියවන්න කැමතිද"


මේ ලෝකේ ඉන්නවා කතා කියවන්න කැමති, ඒ කියන්නේ පාඨකයන් වගේම කතා අහන්න කැමති, සවන් දෙන්නන් කියලා දෙපිරිසක්.

කියවන්නන් ජීවිතයට දැනුම එකතු කරගනිද්දි සවන් දෙන්නන් ජීවිතයට අත්දැකීම් එකතු කර ගන්නවා...


එසේ අත්දැකීම් පිරි අසන්නෙක්  හා දැනුම පිරි කියවන්නෙක් අතර දෝලනය වන අපූර්ව සිනමා  වෘත්තාන්තය , The Reader....Stephen Daldry ගේ මේ සිනමාපයට පාදක වෙන්නේ 1995 දී Bernhard Schlink නම් ජර්මන් කතුවරයාගේ නවකතාවයි....


ටයිටැනික් නිළි කේට් වින්ස්ලට් හොඳම නිලිය ලෙස ඇකඩමි සම්මානය හා ඒ වසරේ ප්‍රධාන සම්මාන උළෙලවල් වල හොඳම නිළිය සම්මානය දිනාගත් 2008 වසරේ නිකුත් වූ The Reader චිත්‍රපටය Imdb දර්ශකයේ 7.6ක් දක්වන සම්මානීය චිත්‍රපටයකි...


මෙ චිත්‍රපටයේ කියවන්නා හා අසන්නා අතර ඇතිවන අසම්මත ,අසම්පූර්ණ ප්‍රේමය මුලදී ⁣නවකතාවක් මෙන් සුන්දරව ගලාගෙන යද්දි එහි අවසානයේ සියල්ලගේම අනිත්‍යතාව හරි අපූරුවට නිර්මාණකරුවා පෙන්වා දී ඇත....චිත්‍රපටය නොබලපු කෙනෙක්ට චිත්‍රපටය රසවිඳීමට මෙතෙක් කල හැඳීන්වීම ප්‍රමාණවත් යැයි සිතමි...මෙතනින් එහාට චිත්‍රපටය නොබලපු ඔබ මේ ලිපිය නොකියවිය යුත්තේ ඔබත් මෙහිදී අ⁣සන්නෙකු නොවී කියවන්නෙක් විය යුතු නිසාමයි.... 


🚫Spoiler Alert


අවුරුදු 15 ක නව යොවුන් වියේ පසුවන මයිකල් සිය කුළුදුල් පෙම් හැඟීමෙන් මත් වන්නේ හනා නම් අවුරුදු 36ක අවිවාහක කාන්තාව දුටු මුල් අවස්ථාවේදීමයි....අප කාටත් ආදරය මුල් වරට ඇති වෙන්නේ ආදරය ගැන කුතුහලයට මිසක් ආදරය ගැන අවබෝධය නිසාම නොවෙයි...එසේ මයිකල්ට පලමු හමුවෙන්ම සිය නොඉඳුල් අනුරාගී හැඟුම් පිරි සිත ඇයගේ රූපයට නතු වන්නේ යොවුන් වියේ අප කාටත් ඇතිවන ප්‍රේමය හා රාගය ගැන ඇති කුතුහලය පසක් කරමින්...


පලමු හමුවීමෙන් ඇති වන කුළුදුල් නුපුරුදු හැඟුම් ඔහුගේ සිත කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඇය සොයා යන්නේය...අවසානයේ ඔහු ඇයගේ පහසට නතු වෙන්නේ ප්‍රේමයේ හැගුම් රාගයෙන් තෙත් වෙමින්ය....එය සම්මතය බිඳී ගිය අසම්මත බැඳීමකි...නමුත් දෙසිතකම හැඟුම් එකම ප්‍රේමයක් වෙනුවෙන් නතු වෙද්දී සම්මතය අසම්මතය හුදෙක් වචනම පමණක් වෙන්නේය...


එවිට හනා.....තරුණවිය කෙලවර සීමාවේ සිටින අවිවාහක ඇයගේ සිත යොවුන් පහසට නතු වන්නේ තමන් තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිරකරගෙන ඇති හැඟුම් තවත් සිරගත කර තබාගත නොහැකි නිසා බව ඇයගේ චරිතයෙන් මනාව පෙනේ.....

අවසානයේ ඔහුගේ ආදරය හා ඇයගේ රාගය අසම්මත ගමනකට මුල පුරන්නේ තම තම සීමා වලින් මිදී ජීවිතය විඳීම අරමුණු කරගෙනය....


මේ අතර ඒ අසම්මතය තුල තවත් බැඳීමක් දෙදෙනා තුල ඇති වෙන්නේය...ඒ හොඳ කියවන්නෙක් හා අසන්නෙක් අතර බැඳීමයි....කටවහරට පවා කියන්නේ කියවන්නෙක් හා අසන්නෙක් අතර බැඳීම දීර්ඝ කාලීන බවයි....දෙදෙනාම කියවන්නන් හෝ දෙදෙනාම අසන්නන් වනවටාට වඩා හොඳ සවන් දෙන්නෙක් හා කියවන්නෙක් පරිපූර්ණ බැඳීමක පොදු  ලක්ෂණයකි...

මයිකල් පාසලේ අධ්‍යපන කටයුතු වලට පවා දක්ෂ සේම හොඳ පාඨකයෙක් වෙයි..කාලයත් සමඟ ඇය ඔහුගේ අසන්නා බවට පත් වෙන්නේ පිටවන සිය රාගී  හැඟුම් සමුදාය  කෙළවර ශේක්ස්පියර් ගො(ට්)තෝඩ් හෝමර්ට වෙලාව වෙන් කරමින්ය.....


ඔවුන් ඔවුන්ගේ ලෝකයක සිය සැනසුම සුවය සතුට සොයා යද්දී මයිකල්ට සිය පවුල මිතුරන් සියල්ලම වනනේ හනා පමණයි...ඔහුගේ හිත මුළුමනින්ම ඇය නතු වෙද්දී ඇයගේ සිත නතු වන්නේ ඔහුගේ කියවීමටය...කාලය ගෙවී යද්දි හනා අවසානයේ, ඔහුගේ කියවීම ප්‍රතික්ෂේප කරන්නේ තමන් සමඟම කල අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව පෙනෙයි....සමාව ඇයදීමේදි ඇය ටොල්ස්ටොයිගේ යුද්ධය හා සාමය පොත ඉදිරිපත් කරන්නේ සිය අරගලය අවසානය සනිටුහන් කරමින්ය...


එතනින් නිමාවන්නේ ⁣ඇයගේ අරගලය පමණක්ම නොවෙයි...ඇයත් ඔහුත් අතර අසම්මතය මතින් මුදුන්පත් වු හැඟීම් සමුදායේ අවසානයයි...ඔහු නැවත පැමිණෙන විට ඇය නික්මගොස් හමාරය...ලොවෙන් සැඟව රහසේ විඳි ප්‍රේමයේ  විරහවද ලොවට රහසේ විඳගත යුතුමය....එයයි අසම්මතයේ නීතියේ...එයයි අසම්මතයේ දුෂ්කරක්‍රියාව....බිදුණු හිත සනසාගන්න කදුළක්වත් නිදහසේ හෙළනු  බැරි ඒ බිඳුණු යොවුන් සිත අවසානයේ ගලායන වතුරට කදුළු මුසු කලේය....


මයිකල් සියළු ඇදුම් උනා දමා නිසල දිය සසල කරමින් සිය හැඟුම්,දිය හා මුසු කිරීමට වතුරට පැන්නේය...එසේ, ඔහුගේ ජීවිතේ යොවුන් පරිච්ඡේදයේ කුළුදුල් අප්‍රකාශිත හා අසම්මත පෙම් කතා පුවත අවසන් විය....

කාලය ගත විය...ඔහු දැන් නීති විද්‍යාලයක ශිෂ්‍යයෙක්....නඩු විභාගයක් සඳහා විද්‍යාලයෙන් මයිකල් ප්‍රමුඛ කණ්ඩායම රැගෙන ගිය ගමන මයිකල්ට තමන්ට කාලයකට සිදු වු තුවාලය යළිත් පෑරෙන ගමනක් වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතු ගමනක් විය....විත්තිකාරිය හැනා ස්මිත්...


ඇයගේ චරිතය ගැන ⁣අපට සියල්ල දැනගැනීමට හැකි වන්නේ එහිදීය....හැනා මුදවාගැනීමේ හමුදාවක සේවය කරන කාලවකවානුවේ කාන්තාවන් 300ක් පල්ලියක ගිනි ගැනී⁣මේ සිද්ධියක චූදිතයෙක් ලෙස ඇය උසාවියක විත්තිකුඩුවක සියළු චෝදනා පිළිගෙන  පාපොච්චාරණය කරන්නාය....එය ඇයගේ අවංකමද නැහොත් නූගත්කමද..නැතහොත් ඒ දෙකමද....


මීට සම්බන්ධ සිද්ධිය ගැන මදක් අවධානය යොමු කලහොත් Death Marches නැතාහොත් මරණාය් පාගමන් යුන් දෙවන ලෝක යුධ සමයේ ජර්මන් නාසි හමුදා  විසින් සිරකරුවන් පාගමනින් ජර්මන් සිරකඳවුරු වලට පා ගමනින් මාරු කර යැවීමයි...⁣⁣මේ සිරකරුවන් බොහෝ පිරිසක් යුදෙව් ජාතිකයන් වනවා...මාස ගනන් අවුරුදු ගනන් ප්‍රචණ්ඩත්වයෙන් හා සාගින්නෙන් හෙම්බත් වූ සිරකරුවන් මෙසේ මාරුකර යවන අවස්ථාවලදී බොහෝ සොල්දාදුවන් අතරමඟදී මියගොස් ඇත...1945 දී රුසියානු මුදවාගැනීමේ හමුදා ජර්මන් Auschwiyz කඳවුරට පැමිණීමට දින 9යකට පෙර එම කදවුරේ සිට සැතපුම් 35 ක් ඈතින් ඇති කඳවුරකට සිරකරුවන් 56,000 ගමන් කරවා ඇති අතර එහිදී 15,000ක් අතරමඟදී මියගොස් ඇත..


එවැනි පාගමනක් අතරතුර කාන්තා සිරකරුවන් භාරව සිටි ss හමුදා සමාජිකාවක්ම සිටි හනා ප්‍රමුඛ පිරිද 1944 දී එනම් මයිකල් හමුවීමට වසර 14 ක ට පෙර Krakow කඳවුරේ සිට ගෙන ගිය 300ක සිරකාරිනියන් පිරිසක් අතරමඟදී රාත්‍රියේ විවේක ගැනීමට පල්ලියක නවත්වා එය අඟුළු දමා ඇත...එක්වරම ප්‍රතිවාදී සතුරු ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල වී පල්ලිය ගිනි ගන්නා අවස්ථාවේදි දොර විවෘත නොකිරීම නිසා 300ක සිරකාරිණියන් පිරිසක් ගිනිගෙන මියගොස් ඇත.....පසුව හමුදා කණ්ඩායම භාරව සිටි නායිකාව සිද්ධිය සමතයකට ලක් කර වාර්තාවක් සකස් කලද එම අවස්ථාවේ එතන සිටි කුඩා දැරියක් වසර ගනනකට පසු අදාල සිද්ධිය ගැන ⁣පොතක් ලියවා සියළු තොරතුරු එළි කරන්නාය...එහි ප්‍රතිඵලයක් ලෙස හනා ඇතුළු එයට සම්බන්ධ හමුදා නිළධාරියන්⁣ට විරුද්ධව නඩු පවරවා ඇත්තේ සිද්ධිය සිදු ව වසර 22 කට පමණ පසුය....


ඉතිං ඇය අවසානයේ උසාවිය ඉදිරියේ, මයිකල් ඉදිරියේ  ඇයව අදාල සිද්ධියේ සම්පූර්ණ තනි වැරදිකාරියක් බවට අනිත් චූදිතයන් පවා පත් කරවන්නේ ඇයගේ අවංකකමට වඩා ඇයගේ නූගත්කම නිසාවෙනි...ඇයට ලියන්න කියවන්න බැරි බව ඔහුට පසක් වුනත්, එය ඇය දන්නා දෙයක් වුනත් උසාවිය ඉදිරියේ ඇය නිහඬය....සාක්ෂරතාවය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මන් සමාජයේ විශාලම ලැජ්ජාව හා අවමානය බව හැනා චරිතයෙන් අපට පසක් කරන්නේ තමන්ට වඩා වයසින් බාලයෙකු හා යහන්ගත වීමටත් වඩා සාක්ෂරතාවය ඇයව ලැජ්ජාවට හා අවමානයට පත් කරවන බව ඇය සිතන බව පෙන්වමින්ය.... අවසානයේ ඇය චූදිතයන් අතරින් සම්පූර්ණ වැරදිකාරිය බවට පත් වෙන්නේ ඇයගේ නූගත්කම හා අවංකභාවය ඇයව අසරණ කරවමින්ය....


ඇය අවසානයේ ජීවිතාන්තය තෙක් සිරදඩුවමකට යටත් වන්නාය....ඔහු සිරගෙදරට ගියද ඇයව හමුවීමට නොගොස්  නැවත හැරී ආපසු යාමෙන්,ඔහුට ඇය ඉදිරියේ කියාගන්නට හෝ අසන්නට වචන නැති බවත් ගොළු හදවත දැන් තනිව හඬන්නට විනා නැවත හමුවීමකට සුදානම් නැති බවත් දෙපා ළං කල හිත දුර රැදුන මොහොතක් කියා පාන්නේය...ඇය බලාසිටියාය...නමුත් ඇයට අයිති කවුරුත් දොරෙන් නොආවේය....ඔහු හැරී ගියේය...සදහටම ඇයගෙන් මිදී ගියේය....


වසර ගනනකට පසු ඔහු අතට හෝමර්ගේ ඔඩිසි හමුවූයේ මතක අතර රැදුන යට ගිය මතකයක කියවන්නෙක් හා අසන්නෙක් මතකයට කැන්දමින්ය...ඔහු දැන්...ඇය දැන් මහළු කාන්තාවක්...."හෝමර්ගේ ඔඩිසි" වසර ගනනකට පසු ඔහුගේ වදන් ඇය සවන් වැකුණි....නැවතත් ඒ ආත්මීය බැඳීම අතීතයේ මතක අතරින් පටිගත කල හඬ හරහා හෝමර්ගේ ඔඩිසිගෙන් ආරම්භ විය...කියවන්නා හා අසන්නා... පොත් වල පිටු හඬ පටි වලින පිරුණා පමණක් නොව වියැකී ගිය මිලින වුන ගිය ඇයගේ ජීවිතයට යළිත් හිරු උදාවූයේ ඇයට යළි ජීවත් වෙන්න නැවුම් බලාපොරොත්තු එකතු කරමින්....ඇය අසන්නාගෙන් මිඳී කියවන්නෙක් වෙන්න මං එළි පෙහෙළි කරගත්තේ ඔහුගේම වචන වලින් අකුරු උගනගෙන අකුරු වලින් වචන උගනගෙනය....අවසානයේ ඇය ඔහුට ලිව්වාය....නමුත් ඇයගේ ලියුම් පොදිගනන් වලින් ඔහුගේ ලාච්චුව පිරවුන මුත් ඔහු ඇයට නොලිව්වාය...ඔහුගේ හදවතේ වචන කරන්නට තරම් දේවල් නැතිද නැත්තම් වචන කරන්නට තරම් ඇය ගැන උනන්දුවක් ඔහුට නැතිද...එයයි වරක් හදින් මියගිය බැඳීමක් සදාකාලිකවම අවසාන ස්භාවය....හමුවේවි නමුත් හිතින් බොහෝ දුරය...


මේ කතාවේ අවසානය සංවේදි වනවාටත් වඩා ජීවිතයේ යථාර්ථයද අනිත්‍යද පසක් කරවයි....ඇයගෙ දඩුවම් ලිහිල් වී වසර විස්සකට පසු සිරෙන් නිදහස් කරද්දී ඇයට යන්නට කියා තැනක් නැත...හමුවෙන්න කියා කෙනෙක් නැත...යන්තම් හෝ මිහිපිට බැඳීමක් තිබුණා නම් ඒ මයිකල් සමඟ පමණයි...ඇය වෙනුවෙන් ඔහුට මෙවර පැමිණෙන්නට සිදුවූයේ දෛවය ඔවුන්ගේ කතාවට සුදානම් කර තිබුණ අවසාන හමුවීම ඉදිරියේ ඔහුට එයට අවනත නෙවී බැරි නිසාමය....අවසානයේ ඔවුන් දෙදෙනා නැවත හමුවිය...නමුත් කාලය බොහෝ ගෙවී හමාරය..ඔහු කලකට පෙර පෙම් කල ඒ දෙනෙත් දැන් පෙරලෙස අනුරාගී නොවීය...


ඒ දෙනෙත් දැන් ඔහු⁣ට ඔහු කිසිද හමු නොවු කිසිදා නොහදුනන අමුත්තෙකුගේ දෙනෙත් වී හමාර බව ඔහුගේ මුහුණෙන් පෙනෙන්නේය...රහස් තෙපළු නා දළු වන දෙතොල් දැන් වියළි බිම වැටුන නිකම්ම නා පතක් පමණි.... දෙකොපුල් රැළි වැටී, කය වියළි පරවී,දෙතන්  හිස් වු බැලුම් මෙන් වී නොහදුන ඇය දැන් ඔහුට මහැල්ලක්ම පමණි...ඔහුගේ ස්පර්ශය ඔහුට ඇවැසි විය...නමුත් ඒ වියපත් දෙඅත් දැන් කාගෙද යැයි ඔහු නොදනී....කාලය ඉදිරියේ අසම්මත සම්මත හැම පෙමම අවසානයේ අනිත්‍යයට නතු වන ලෝක ස්භාවයෙන් හැනා මයිකල් නම් මේ අසන්නා හා කියවන්නා කෙසේ මිදෙන්නද...ඔබ ඇයට ඔහුට පෙම් කරනු ඇත...නමුත් ප්‍රේමය කාලයත් සමඟ ගිලිහෙයි නම් එය රාගයක් මිසක ප්‍රේමයක් නොවන බව වැ⁣ටහේවි යොවුන් විය කෙමෙන් ඉගිල ගිය පසු...


අැයත් දැන් කියවන්නෙක් වෙයි....ඉතිං දැන් ඇය අත්දැකීම් මෙන්ම දැනුමෙන්ද පූර්ණයි...මයිකල්ගේ අවසාන හමුවීම ඇයට මඟ  හැරුණු බොහෝ දේ ඒ වන විටත් කියා දී හමාරය....අවසානයේ ඇයට ගන්න තිබුණ හොඳම තීරණය එය නොවුනත් තෝරගන්න වෙනත් තීරණයක්ද නොවු නිසා අවසන් තීරණයකට එළඹුණාය...ඇය මයිකල්ගෙන් පමණක් නොව ලොවෙන්ම සඳහටම නික්ම ගියාය...


මේ ලෝකේ ලස්සනම ආදර කතාව හෝ අවම තරමින්  ආදර කතාවක් හෝ නො⁣වේ... නමුත් කියවිය යුතු ඇසිය යුතු කතාවකි....The Reader.....


                                                                                                              -අනුෂ්ක රසාංජන ද සිල්වා-









Comments

Popular Posts